සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම කඩුලු 4කට ලකුණු 344ක් රැස්කර ගෙන විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිම මුළු ලකුණු
ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා.
ගැම්බියාව ට එරෙහිව ඔවුන් මේ නව ලෝක වාර්තාව බිහි කර තිබෙන්නේ කෙන්යාවේ නයිරෝබි නුවර ඊයේ පැවති 2026 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගයකදී.
ගැම්බියාව ලකුණු 54කට දවාලීමෙන් පසුව සිම්බාබ්වේ මේ තරගය ජයග්‍රහණය කර තිබෙන්නේ ලකුණු 290කින්. සිකන්දර් රාජා (Sikandar Raza) පන්දු 43කට පමණක් මුහුණ දෙමින් නොදැවී ලකුණු 133ක් රැස් කිරීමට සමත් වුනා.
Sikandar Raza 133 (43)
සිම්බාබ්වේ විසින් මකා දමනු ලැබුවේ පසුගිය වසරේ චීනයේ හැංසූ නුවරදී මොන්ගෝලියාව ට එරෙහිව නේපාලය විසින් පිහිටුවා තිබූ කඩුලු 3 ට ලකුණු 314ක ලෝක වාර්තාව.
2023 වසරේ දී ලකුණු 314ක් රුස්කරමින් ලොක වාර්තාවක් පිහිටවූ නේපාල කණ්ඩායම
රාසා පන්දු 33කින් ඔහුගේ ශතකය ලබා ගත්තේ ජාත්‍යන්තර විස්සයි20 ක්‍රීඩාවේ දෙවැනියට වේගවත්ම ශතකය වාර්තා කර සිටින නැමීබියාවේ ජාන් නිකොල් ලොෆ්ටී-ඊටන් (Jan Nicol Loftie-Eaton) සමග සම වෙමින්.
ජාත්‍යන්තර T20 ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත්ම ශතකය ලෙස සටහන්ව තිබෙන්නේ සයිප්‍රස් කණ්ඩායමට එරෙහිව එස්ටෝනියාවේ සහිල් චඋහාන් (Sahil Chauhan) පන්දු 27කින් ලබා ගත් ශතකය.
T20 වේගවත්ම ශතයකට හිමිකම් කියන එස්ටෝනියාවේ සහිල් චඋහාන් (Sahil Chauhan)
මේ ජයග්‍රහණයත් සමග සිම්බාබ්වේ කණ්ඩායමට ලබන වසරේ පැවැත්වෙන 2026 ලෝක කුසලාන අප්‍රිකාවෙන් සුදුසුකම් ලබා ගැනීමේ අවසන් වටයට පිවිසීම සහතික වී තිබෙනවා. මේ වටයේ අනෙකුත් ස්ථාන හතෙන් පහක් ද තීරණය වී තිබෙන්නේ නැමීබියාව, උගන්ඩාව, ටැන්සානියාව, මලාවි සහ කෙන්යාව එම වටයට සුදුසුකම් ලබා සිටින බැවින්.
2017 වසරේදී ජගත් ක්‍රිකට් කවුන්සලයේ (ICC) අනුබද්ධිත රටක් බවට පත්වූ සහ ලෝක ශ්‍රේණිගත කිරීමේ 95 වැනි ස්ථානයේ පසුවන ගැම්බියාව ට මේ තරගාවලිය අවුල් සහගත එකක් වී තිබෙනවා.
තරගාවලිය මුලදී රුවන්ඩාව හා සීෂෙල්ස් කණ්ඩායම් සමග සිය තරග සම්පූර්ණ කිරීමට නොහැකි වීම නිසා ගැම්බියාව ක්‍රිකට් ඉතිහාසයේ T20 ජාත්‍යන්තර තරග දෙකක් ප්‍රතිවාදීන්ට නිතරග ජයක් ලබා දෙමින් පරාජය වූ පළමු කණ්ඩායම බවට පත්වුනා.
T20 ජාත්‍යන්තර තරග වාර්තා පොත අලුත් කළ සිම්බාබ්වේ කණ්ඩායම
කෙන්යාව ට ඇතුළු වීම පිණිස අවශ්‍ය ලියකියවිලි ලබා ගැනීමේදී උද්ගතවූ ගැටලු හේතුවෙන් ඔවුන් තරගාවලියට පැමිණියේ ප්‍රමාද වී බවට ගැම්බියා ක්‍රිකට් සංගමය ප්‍රකාශ කර තිබෙනවා.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






