වර්ෂාවෙන් බාධා පැමිණෙමින් පල්ලෙකැලේදී ඊයේ පැවති ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් තෙවැනි හා අවසාන ජාත්‍යන්තර එක්දින ක්‍රිකට්
තරගයේ ඩක්වර්ත්/ලුවිස් ක්‍රමවේදයට අනුව ඕවර 23කින් ලකුණු 195ක ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන් තරගයේ තවත් පන්දු හයක් ඉතිරිව තිබියදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 196ක් ලබා ගෙන කඩුලු 8ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළා.
මේ අනුව දෙපිල අතර තරග තුනකින් සමන්විතව පැවති ජාත්‍යන්තර එක්දින තරගමාලාවේ 2-1ක ජයක් ශ්‍රී ලංකාව අත්කර ගත්තා. නායක චරිත් අසලංක ‘තරගමාලාවේ වීරයා’ ලෙස නම් කෙරුනා.

කොදෙව්වන් ඊයේ ජයග්‍රහණය කරා ගෙන ගියේ ‘තරගයේ වීරයා’ වූ එවින් ලුවිස් හා ෂර්ෆේන් රදෆෝඩ්. මේ දෙදෙන තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 45කින් ලකුණු 88ක නොබිඳි සබඳතාවක් ගොඩනගමින් කොදෙව් පිලට ඔවුන්ගේ ශ්‍රී ලංකා තරග සංචාරය ජයග්‍රහණයකින් අවසන් කිරීමේ සැනසුම ලබා දුන්නා. මෙය බටහිර ඉන්දීය කොදෙව් පිල 2024 වසරේ ලබා ගත් පළමු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ජයග්‍රහණය වූ අතර ඔවුන් ශ්‍රී ලංකාවේදී අවසන් කළේ දිගටම ලැබූ තරග 11ක පරාජයන්ගේ නීරස ගමනක්.
ලුවිස් පන්දු 61කින් නොදැවී ලකුණු 102ක් ලබා ගත් අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් ඇතුළත්ව තිබුනා. ඔහු ශතකය මෙන්ම තරගයේ ජයග්‍රහණය ද වාර්තා කලේ හයේ පහරකින් වීම විශේෂත්වයක්. 2021 වසරට පසුව ප්‍රථම එක්දින ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ ලුවිස් ලබා ගත්තේ ඔහුගේ පස්වැනි ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශතකය.
රදෆෝඩ් මේ තරගමාලාවේ ඔහුගේ තෙවැනි අර්ධ ශතකය පන්දු 26කින් වාර්තා කළේ හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් එල්ල කර නොදැවී සිටිමින්. මේ තරගමාලාවේ සුවිශේෂී පිතිකරණයක යෙදුනු රදෆෝඩ් පළමු තරගයේදී නොදැවී ලකුණු 74ක් ද, දෙවැනි තරගයේදී ලකුණු 80ක් ද ලබා ගැනීමට සමත් වුනා.

ජයග්‍රහණය සඳහා වූ ඉලක්කය හඹා යාමේදී කොදෙව් පළමු කඩුල්ල බිඳ වැටුනේ මුළු ලකුණු 36දී. බ්‍රැන්ඩන් කිං (16) හය වැනි ඕවරයේදී අසිත ප්‍රනාන්දුගේ පන්දුවට දුන් උඩ පන්දුව ‘ඩීප් මිඩ් විකට්’ හි පන්දු රකිමින් කමිඳු මෙන්ඩිස් රැක ගත්තා.
ලුවිස් හා ෂායි හෝප් දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 54කින් ලකුණු 72ක සබඳතාවක් ගොඩනගමින් සිටියදී ඩිල්ෂාන් මදුශංකගේ පන්දුවට දුන් උඩ පන්දුව ‘ඩීප් මිඩ් විකට්’ ස්ථානයේ සිට දුවමින් අසිත ප්‍රනාන්දු විසින් රැක ගැනීමත් සමග හෝප් දැවී ගියා. ඔහු හයේ පහරක් සමග පන්දු 27කින් රැස් කළ ලකුණු ප්‍රමාණය 22ක්.

මුළු ලකුණු සංඛ්‍යාව 108ක් ලෙස සටහන්ව තිබියදී 15 වැනි ඕවරයේ දෙවැනි කඩුල්ල බිඳ වැටීමෙන් පසුව කඩුල්ලේ එක්වූ එවින් ලුවිස් හා ෂර්ෆේන් රදෆෝඩ් ආක්‍රමණශීලී පිතිහරඹයක නිරත වෙමින් පිටියේ දිගට හරහට හතරේ සහ හයේ පහර එල්ල කරමින් කෙදෙව් පිල මේ ජයග්‍රහණය කරා ගෙන ගියා.
ඊට පෙර, පැතුම් නිස්සංක හා කුසල් මෙන්ඩිස් ලකුණු 56 බැගින් ලබා ගනිමින් ක්‍රීඩා කළ වේගවත් පිතිහරඹ මධ්‍යයේ ශ්‍රී ලංකාව ඔවුන්ගේ ඕවර 23 ඇතුළත කඩුලු 3ක් දැවී ලකුණු 156ක් රැස් කළා.
නිස්සංකගේ පන්දු 62ක ඉනිමට හතරේ පහර 8ක් සහ හයේ පහරක් ඇතුළත්ව තිබූ අතර පන්දු 22ක මෙන්ඩිස්ගේ නොදැවනු ඉනිම හතරේ පහර 9ක් සහ හයේ පහරකින් සමන්විතව තිබුනා.

කාසියේ වාසිය දිනා ගෙන පළමුව පන්දු යැවීමට කොදෙව්වන් තීරණය කිරීමෙන් පසුව පැතුම් නිස්සංක සහ අවිශ්ක ප්‍රනාන්දු පන්දු 103කින් ලකුණු 81ක් ආරම්භක කඩුල්ල වෙනුවෙන් රැස් කරමින් සිටියදී ප්‍රනාන්දු, රොස්ටන් චේස්ගේ දෙවැනි ඕවරයේ පන්දුවකට ඔහු අතටම උඩ පන්දුවක් ලබා දෙමින් ලකුණු 34කට දැවී ගියා. පන්දු 50කට මුහුණ දුන් ඔහුගේ ඉනිමට හතරේ පහර 4ක් සහ හයේ පහරක් ඇතුළත්ව තිබුනා. ප්‍රනාන්දු ලකුණු 4ක් ලබා ගෙන සිටියදී මැතිව් ෆෝඩ්ගේ පන්දවට දුන් උඩ පන්දුව රැක නොගැනීම හේතුවෙන් දැවී යාමෙන් ගැලවුනා. ශ්‍රී ලංකා පළමු කඩුල්ල බිඳ වැටුනේ 18 වැනි ඕවරයේ පළමු පන්දුවට.
ඉන්පසුව යැවීමට හැකිවූයේ එක් පන්දුවක් පමණයි. මහ වැසි ඇද හැලුනු බැවින් තරගය පස්වරු 3.42 ට නතර වුනා.
පිලකට ඕවර 23 බැගින් සීමා වෙමින් පැය පහකින් පසුව තරගය නැවත ආරම්භ වූ අවස්ථාවේ රොස්ටන් චේස් යවමින් සිටි 18 වැනි ඕවරයේ ඉතිරි පන්දු හතරට කුසල් මෙන්ඩිස් හතරේ පහර හතරක් එල්ල කරමින් වේගයෙන් ලකුණු ලබා ගැනීම ආරම්භ කළා. ශ්‍රී ලංකාව ඔවුන්ගේ ඉනිමේ ඉතිරි ඕවර 5.4 තුළ ලකුණු 75ක් රැස් කිරීමට සමත් වුනා.

පැතුම් නිස්සංක පන්දු 58කින් ඔහුගේ අර්ධ ශතකය වාර්තා කිරීමෙන් පසුව පන්දු හතරකින් තවත් ලකුණු හයක් ලබා ගෙන සිටියදී දුවද්දී දැවී ගියා. දෙවැනි කඩුල්ල මුළු ලකුණු 138දී බිඳ වැටුනේ 22 වැනි ඕවරයේ. නිස්සංක හා මෙන්ඩිස් දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 26කින් ලකුණු 57ක් එක් කළා. නිස්සංක ලකුණු ලබා ගැනීම ආරම්භ කිරීමට පෙර තෙවැනි පන්දුවේදී දුන් උඩ පන්දුවක් රැක ගැනීමට කොදෙව්වන් අසමත් වුනා. නායක චරිත් හසලංක හයේ පහරක් එල්ල කර 23 වැනි ඕවරයේදී දැවී ගියා.
කුසල් මෙන්ඩිස්ගේ අර්ධ ශතකය පන්දු 19කින් වාර්තා වූ අතර ඊට හතරේ පහර නවයක් සහ හයේ පහරක් ඇතුළත්ව තිබුනා.
ආබාධයකට ලක්වීම හේතුවෙන් මේ තරගමාලාවේ පළමු තරග දෙකට සහභාගි නොවූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ඊයේ තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වීමත් සමග සිය මංගල ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයේ අර්ධ ශතකයක් ලබා ගත් නිශාන් මදුශ්ක ට කණ්ඩායමෙන් ඉවත් වීමට සිදුවුනා. දුනිත් වෙල්ලාලගේ වෙනුවට ඩිල්ශාන් මදුශංක කැඳවා තිබුනා.

පළමු තරග දෙකෙන් ම පරාජය වී සිටි බටහිර ඉන්දීය කොදෙව් පිල මේ තරගය වෙනුවෙන් වෙනස්කම් තුනක් සිදුකර තිබුනා. 17 හැවිරිදි ජුවෙල් ඇන්ඩෲ ඊයේ ඔහුගේ මංගල ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ අතර ඔහු කණ්ඩායමට ඇතුළත්ව සිටියේ රොමාරියෝ ෂෙෆර්ඩ් වෙනුවට. ඇලික් ඇතනේස් වෙනුවට එවින් ලුවිස් ද, හේඩ්න් වොල්ෂ් වෙනුවට මැතිව් ෆෝඩ් ද කොදෙව් පිලට ඇතුළත්ව සිටියා.
ගැරී සෝබර්ස්ගෙන් (Garry Sobers) පසුව කොදෙව් කණ්ඩායමට ක්‍රීඩා කරන පළමු 17 හැවිරිදි ක්‍රීඩකයා බවට කඩුලු රකින පිතිකරු ජුවෙල් ඇන්ඩෲ (Jewel Andrew) පත්වනවා. වයස අවුරුදු 17 හෝ ඊට අඩු ක්‍රීඩකයෙක් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන්නේ වසර 70ක කාලයක් ඇතුළත ප්‍රථම වතාවට.

ක්‍රිකට් පුරාවෘත්තයක් වන ගාෆීල්ඩ් සෝබර්ස් ප්‍රථම වතාවට කොදෙව් කණ්ඩායම නියෝජනය කළේ 1954 වසරේ මාර්තු 30 වැනිදා. එංගලන්තය ට එරෙහිව කිංස්ටන් හි දී සෝබර්ස් ඔහුගේ මංගල තරගයට සහභාගි වූයේ වයස අවුරුදු 17යි දවස් 245ක්ව සිටියදී.
වයස අවුරුදු 17යි දවස් 324ක්ව සිටිමින් කොදෙව් කණ්ඩායමට නම් කෙරුනු ඇන්ඩෲ බටහිර ඉන්දීය කොදෙව් පිල නියෝජනය කිරීමට වරම් ලැබූ තෙවැනියට ළාබාල ම ක්‍රිකට් ක්‍රීඩකයා යි. වයසින් අඩුම ක්‍රීඩකයා සෝබර්ස් නොව අවුරුදු 17යි දවස් 122 වයසේදී එංගලන්තය ට එරෙහිව බ්‍රිජ්ටවුන් හි දී 1930 වසරේ ජනවාරි 11 වැනිදා ක්‍රීඩා කළ ඩෙරික් සීලි (Derek Sealy) යි. සෝබර්ස් මේ ලැයිස්තුවේ සිටින්නේ දෙවැනියට.

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් තෙවැනි ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගය වෙන්කර තිබුනේ ඔක්තෝබර් මාසයට යෙදී තිබෙන ‘පියයුරු පිළිකාව පිළිබඳ දැනුවත් වීමේ මාසය’ ට සහයෝගය ලබා දීම පිණිස. ඒ අනුව, මේ තරගය ‘රෝස පාට පීත්තපටියේ දිනය’ – Pink Ribbon Day - ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හඳුන්වා දී තිබූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තරගයට සහභාගි වූයේ රෝස පැහැති පීත්තපටි පැළඳ ගෙන.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






