නවසිලන්ත ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම දින 10 පසුගියදා වාර්තා වූයේ ඉන්දියාව ට පාඩු කරමින්.
ඔක්තෝබර් 16 වැනිදාට පෙර නවසිලන්ත පිරිමි ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේදී ජය ගෙන තිබුනේ තරග දෙකක් පමණයි. ඔක්තෝබර් 20 වැනිදාට පෙර නවසිලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම කිසිම අවස්ථාවක විස්සයි20 ලෝක කුසලානය දිනා ගෙන සිටියේ නැහැ. ඔක්තෝබර් 26 වැනිදාට පෙර නවසිලන්ත පිරිමි ක්‍රිකට් කණ්ඩායම කවරවිටකවත් ඉන්දියාවේදී ටෙස්ට් තරගමාලාවක් ජයග්‍රහණය කර තිබුනේ නැහැ.
දින 10ක් ඇතුළත මේ සියල්ල වෙනස් වුනා. විවිධ අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින් ටොම් ලේතම්ගේ (Tom Latham) කණ්ඩායම සහ පළපුරුදු හා තරුණ ක්‍රීඩිකාවන්‌ගේ මිශ්‍රණයකින් යුත් සොෆී ඩවීන්ගේ (Sophie Devine) කණ්ඩායම ඉතිහාසය අලුතින් ලිවීමට සමත් වුනා.
Tom Latham | Sophie Devine
නවසිලන්ත කණ්ඩායමේ විස්මයජනක පන්දු යැවීමකින් ඉන්දියාව ලකුණු 46කට බෙන්ගාලුරු හි දී දැවී ගිය අතර එයින් අන්දමන්ද වූ රෝහිත් ෂර්මා සහ කණ්ඩායම නැවත සටනට අවතීර්ණ වූව ද වැටුනු අගාධයෙන් ගොඩඒමට ඔවුන්ට නොහැකි වුනා. ඒ ටෙස්ට් ගැටුම අවසානයේ, නවසිලන්ත කණ්ඩායම ඉන්දියානු භූමියේ ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණයක් අත්කර ගැනීමේ වසර 36ක ඔවුන්ගේ ඉඩෝරය අවසන් කළා.
@GATTY IMAGES
ඊට පැය කිහිපයකට පසුව, විස්සයි20 කාන්තා ලෝක කුසලානයේ නවසිලන්තය හා දකුණු අප්‍රිකාව අතර පැවති අනපේක්ෂිත අවසාන තරගයේ ජයග්‍රාහිකාවන් වූයේ නවසිලන්ත ක්‍රීඩිකාවන්. මේ තරගාවලියට පෙර නවසිලන්තය මේ වසර තුළ එකදිගට ජාත්‍යන්තර විස්සයි20 තරග දහයක් පරාජය වී තිබුනා. නමුත් නවසිලන්තය විශාල ලකුණු පරතරයකින් හර්මන්ප්‍රීත් කෝර් (Harmanpreet Kaur) සහ ඇගේ කණ්ඩායම විමතියට පත් කරමින් ඉන්දියාව ට එරෙහි ජයග්‍රහණයකින් ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටය ආරම්භ කළා. ඒ පරාජයත් සමග ඉන්දියාව තරගාවලියේ ඉවතට විසිවූ බව අමුතුවෙන් කිව යුතු නැහැ.
@GATTY IMAGES
ඉක්බිති පූනේ හි දඟ පන්දුවට සහාය දැක්වූ තණතීරුවක, නවසිලන්තය ඉන්දියා කණ්ඩායමේ පිතිකරණය හා පන්දු ප්‍රහාරය යටපත් කළේ ඔවුන් ආධිපත්‍යය පතුරුවා සිටි යුගයක් අවසන් කරමින්. වසර 12ක් තුළ ප්‍රථම වතාවට ඉන්දියාව ඔවුන්ගේ රටේදී ටෙස්ට් තරගමාලාවක් පරාජය වුනා. නවසිලන්ත කාන්තා කණ්ඩායම මෙන්ම පිරිමි කණ්ඩායමේ ජයග්‍රහණය ද වාර්තා වූයේ එතරම් හොඳ ප්‍රතිඵල තිබෙන පසුබිමක් යටතේ නොවූයේ පිරිමි කණ්ඩායම ශ්‍රී ලංකාවේදී 2-0ක ටෙස්ට් පරාජයක් ලබා සිටි බැවින්.
“මෙය නවසිලන්තය ට විශේෂ දිනයක්” යනුවෙන් තරගයේ සජීවී විස්තර ප්‍රකාශය ගෙන එමින් සිටි හිටපු ඉන්දියා ක්‍රීඩක රවි ශාස්ත්‍රි කියා සිටියා. “ඉන්දියාව ඔවුන්ගේම පෙදෙසෙහි පුදුමයට පත්කර තිබෙනවා. මෙය වසර බොහෝ ගණනක් තිස්සේ ඉන්දියාවේ බලකොටුවක් වී තිබුනත් අද එහි ආක්‍රමණයක් සිදුවුනා.”
@GATTY IMAGES
නවසිලන්ත ක්‍රිකට් ඉතිහාසයේ මීට වඩා විමතියට පත් කරන ජයග්‍රහී ප්‍රතිඵල මාලාවක් මීට පෙර තිබුනාදැයි සිතා ගැනීම අපහසුයි.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






