‘යකඩ’ මයික් ටයිසන් සමග බොක්සිං වළල්ලට පිවිසීමට පෘථිවියේ කිසිම බොක්සිං සටන්කරුවෙක් අකමැති වූ එක්තරා කාලයක් තිබුනා.
නමුත් දැන්, තව දින දෙකකින් ලෝකයා දකිනු ඇත්තේ ටයිසන් යූටියුබ් බලපෑම්කරුවෙකුට එරෙහිව කරන තරගයක්.
ලෝක හෙවිවේට් බොක්සිං පුරාවෘත්තයක් වන මයික් ටයිසන් (Mike Tyson) යූටියුබ කෙනෙකුව සිට බොක්සිං ක්‍රීඩකයෙක් බවට පත්වූ ජේක් පෝල් (Jake Paul) සමග නොවැම්බර් 15 වැනිදා වෘත්තීය බොක්සිං තරගයකට පිවිසෙන්නේ බොහෝ දෙනාගේ ඇස්බැමි ඉහළ නංවමින් හා ගෝලීය අවධානයක් යොමු කර ගනිමින්. මේ තරගයේ සජීවී විකාශනයක් Netflix විසින් ගෙන එනවා.
58 හැවිරිදි ටයිසන් ඔහුගේ ප්‍රතිවාදියා වන පෝල් ට වඩා අවුරුදු 31ක් වයසින් වැඩියි. ඊට අමතරව, ටයිසන් මේ තරගය දක්වා පැමිණි ගමනේදී කිහිප වතාවක්ම ශරීර සෞඛ්‍ය ආබාධයන්ට ලක්වුනා.
අන්තර් ජාලයේ කෙටි උපහාස රචනා සටහන් කරමින් වෘත්තියක් ආරම්භ කළ පුද්ගලයෙක් ඉතිහාසයේ බිහිවූ වඩාත්ම බියජනක මුෂ්ටි ප්‍රහාරකයෙක් සමග සටන් කිරීමට සූදානම් වන මේ අරුම පුදුම තරගයෙන් සමහර විට සංකේතවත් වනු ඇත්තේ බොක්සිං බලපෑම්කරුවෙකුගේ උත්කෘෂ්ට තත්ත්වයක්.
මයික් ටයිසන් හා ජේක් පෝල් බොහෝ කලක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි තරගයට පිවිසෙන මේ අවස්ථාවේදී, බොක්සිං වළල්ලේ සිටින එම තරගකරුවන්ට වඩා ආතතියේ මට්ටම ඉහළ ගොස් සිටින කාන්තාවන් දෙදෙනෙකු ද සිටිනවා.
අවුරුදු 31ක වයස් පරතරය නිසා මතභේදාත්මක තරගයක් බවට පත්ව තිබෙන, සමාජ මාධ්‍ය තරුවක් වන පෝල් සහ හිටපු ලෝක හෙවිවේට් බොක්සිං ශූරයෙකු වන ටයිසන් අතර සටන පැවැත්වෙද්දී මුළු බොක්සිං ලෝකයේ ම දෑස් සිකුරාදා රාත්‍රියේ ටෙක්සාස් හි AT&T ක්‍රීඩාංගණය වෙත යොමු වනු නිසැකයි.
මේ තරගය පැවැත්වීමට නියමිතව තිබුනේ මීට බොහෝ කලකට පෙර. වානිජමය අතින් අති සාර්ථකව තිබෙන මේ තරගය ජූලි මාසයේ පැවැත්වීමට මුලින් නියමව තිබුන ද, දෙවතාවක් ලෝක හෙවිවේට් බොක්සිං කිරුළ දිනා සිටින ටයිසන් ට ඔහුගේ ශරීරයේ හටගත් සැරව ගලන වණයක් හේතුවෙන් තරගයෙන් ඉවත් වීමට සිදුවුනා.
මේ සියලු සිදුවීම් මධ්‍යයේ පෝල් සමග විවාහ ගිවිස ගත් යූටා ලීඑඩෑම් (Jutta Leerdam) සහ ටයිසන්ගේ බිරිඳ ලකියා ස්පයිස (Lakiha Spicer) ඔවුන් ළඟින් ම සිටියා.
බොක්සිං ක්ෂේත්‍රයේ වර්තමානයේ ලොකුම නාමයන් බවට පත්ව තිබෙන මයික් ටයිසන් හා ජේක් පෝල් පිටුපස සිටින මේ ලීඑඩෑම් සහ ස්පයිස කවුද?
මේ දෙන්නා කවුද?
Jutta Leerdam & Lakiha Spicer
පෝල්ගේ පෙම්වතිය ඔහුගේ අධික වියදම්කාරී ජීවන ශෛලිය ප්‍රසිද්ධියේ අනුගමනය කරන අතර ටයිසන්ගේ බිරිඳගේ කැමැත්ත වී තිබෙන්නේ කීර්තියේ දීප්තිමත් ආලෝකයෙන් බැහැරව සිටීමයි.
ලීඑඩෑම් ජනප්‍රියත්වය ආකර්ෂණය කර ගැනීමට හේතුවක් තිබෙනවා. 25 හැවිරිදි ඇය 2022 හිම ක්‍රීඩා උළෙලේදී වේග ස්කේටිං (Speed Skating) ඉසව්වෙන් ඔලිම්පික් රිදී පදක්කමක් පවා දිනා ගත් ලෝක ශූරතාවන් ගණනාවක් ජයග්‍රහණය කළ ඉතාම සාර්ථක ක්‍රීඩිකාවක්.
නෙදර්ලන්තයේ උපත ලද ලීඑඩෑම් හිමේ ලිහිසි ක්‍රීඩාවන් හි ලබා ගත් ජයග්‍රහණ ඇයට බොහෝ දොරටු විවර කර දී තිබෙනවා. තම පෙම්වතාගේ අඩිපාරේ ගිය ඇය සමාජ මාධ්‍යයේ හැඟීම් අවුස්සන චරිතයක් බවට පත්ව සිටිනවා.
නෙදර්ලන්ත මාධ්‍ය විසින් ලෝකයේ සිටින වඩාත්ම සරාගී ස්පීඩ් ස්කේට ලෙස නම් කර තිබෙන යූටා ලීඑඩෑම් ට මිලියන 4.5කට වඩා වැඩි ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයන් පිරිසක් සිටිනවා. ඇය නිතරම ඇය තරග වදින ඡායාරූප හෝ පෝල් සමග ගත කරන සමාජශීලී ජීවිතය හෝ ඇගේ මන බඳන රූසපුව ප්‍රදර්ශනය කරන චාරිකාවන්ගේ පිංතූර සමාජ මාධ්‍යයේ පෝස්ට් කරනවා.
මේ අතර, ලකියා ස්පයිස ගෙවන්නේ මීට හාත්පසින් වෙනස් වූ ජීවිතයක්. 47 හැවිරිදි ඇය ව්‍යවසායිකාවක්, කතුවරියක් හා ව්‍යාපාර හිමිකාරිනියක් වන අතර සමාජ මාධ්‍යක් නැති ඇය ඇගේ සැමියා සමග සමාජයේ පෙනී සිටින්නේ ඉතාමත් කලාතුරකින්.
ඇය ටයිසන්ගේ තෙවැනි බිරිඳ යි. ඔවුන්ගේ සම්බන්ධතාවට තිබුනේ චංචල වූ ආරම්භයක්. දෙදෙනා මුණගැසුනු අවස්ථාවේදී ස්පයිස ට නීතිය සමග කරදයක් තිබූ අතර වංචාව හා කුමන්ත්‍රණය කිරීමේ නඩුවක පැටලීමෙන් පසුව ඇයට 2008 වසරේදී මාස හයක සිරදඬුවමක් විඳීමට සිදුවුනා.
සමාජයේ කැපී පෙනීමට වැඩි කැමැත්තක් නැති ස්පයිස ඇගේ සැමියා සමග හැරෙන්නට ප්‍රසිද්ධියේ දක්නට ලැබෙන්නේ කලාතුරකින්. එහෙත් ‘ලොව නරක ම මිනිසා’ ලෙසින් හැඳින්වෙන මයික් ටයිසන් ට චියර් කිරීම පිණිස ඇය ටෙක්සාස් හි පෙනී සිටිනු නොඅනුමානයි.
ඔවුන් හමුවුනේ කෙසේද?

පෝල් සහ ලීඑඩෑම් ඔවුන්ගේ පෙම් සබඳතාව ආරම්භ කළේ 2023 වසරේ මාර්තු මාසයේ ෆ්ලොරිඩා හි මයාමි නගරයේ ගත කළ රොමැන්ටික් රාත්‍රියකින්. දෙදෙනා පෙම් යුවලක් බවට ස්ථිර කිරීමට නෙදර්ලන්ත ක්‍රීඩිකාවට වැඩි කලක් ගියේ නැහැ. පෝල් සමග හුරතල් වන ඡායාරූප ඇය ඊළඟ මාසයේදීම සමාජ මාධ්‍යයේ පෝස්ට් කළා.
පෝල් හා ලීඑඩෑම් දැන් වසර එකහමාරක් තිස්සේ එකට ජීවත් වන අතර ඔලිම්පික් ක්‍රීඩිකාව සමග පවුලක් ආරම්භ කිරීම පිණිස ඇය සමග විවාහ වන බවට යූටියුබ ප්‍රකාශ කර තිබෙනවා.
ජේක් පෝල් මීට පෙර දෙවතාවක් සමාජ මාධ්‍ය ජනප්‍රිය චරිත වන Tana Mongeau සහ Julia Rose සමග විවාහ ගිවිස ගෙන සිටියා. කෙසේ වෙතත්, Mongeau සමග ඔහුගේ සබඳතාවට නිත්‍යානුකූල භාවයක් නොතිබූ අතර Rose සමග විවාහ වීමට පෙර පෝල් එම සම්බන්ධතාව නතර කළා.
කෙසේ වෙතත්, ටයිසන් හා ස්පයිස, ඊට වඩා දිගු කාලයක් තිස්සේ එකට ජීවත් වෙමින් සිටිනවා. මේ යුවල ඇත්තෙන්ම මුණගැසුනේ ටයිසන් ට වයස අවුරුදු 28 හා ඇයට වයස අවුරුදු 18ක්ව තිබූ 1998 වසරේ. ඒ වන විට ටයිසන් ඔහුගේ දෙවැනි බිරිඳ මොනිකා ස්පෙන්ස (Monica Spencer) සමග විවාහ වී සිටියා.
ටයිසන් සහ ඔහුගේ දෙවැනි බිරිඳ මොනිකා
ටයිසන් ස්පෙන්ස සමග විවාහ වී සිටින අතරතුර 2000 වසරේදී විටින් විට ස්පයිස ද මුණගැසී සබඳතාවක් පවත්වා ගෙන ගියා. 2003 වසරේදී ටයිසන් ස්පෙන්සගෙන් දික්කසාද වූ අතර ස්පයිස ඔහුගේ පෙම්වතිය බවට පත්වුනා.
දෙදෙනාගේ ඇසුර සංකීර්ණ එකක් බවට පත්වූයේ ස්පියස ට සිරදඬුවමක් නියම වීමෙන්. ඒ වන විට 31 හැවිරිදි වියේ පසුවූ ඇයට සිරදඬුවම නියම කිරීමට සතියකට පෙර ඇය ටයිසන්ගේ බබෙකුගෙන් ගැබ්බර වුනා.
ඇය සිරෙන් නිදහස් වීමෙන් පසුව දෙදෙනා 2009 වසරේදී විවාහ වූ අතර ඔවුන්ට දැන් දරුවන් දෙදෙනෙක් සිටිනවා. දියණිය මිලාන් ඔවුන් විවාහ වූ වසරේදීම උපත ලැබූ අතර මොරොක්කෝ එලිජා ලෙස නම තබා තිබෙන පුතා ඉපදුනේ ඊට දෙවසරකට පසුව.
කාන්තාවන් දෙදෙනාගේ බලපෑම

සුපිරි මට්ටමේ ජයග්‍රහණ අත්කර ගැනීම සඳහා තිබෙන කැමැත්ත සහ හැකියාවෙන් බිහිවූ ලීඑඩෑම්ගේ අධි තරගකාරී ස්වභාවය පෝල් කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කර තිබෙනවා. ඔවුන්ගේ ආදර සබඳතාව අතරතුර ඔහු බොක්සිං ක්‍රීඩකයෙකු වීමේ අදහසක් තිබූ පුද්ගලයෙකුගේ සිට කැපවූ ක්‍රීඩකයෙක් බවට වෙනස් වී තිබෙනවා.
යුවල මුණගැසීම ආරම්භ කළ අවධියේ පෝල් සිටියේ ටොමී ෆියුරි (Tommy Fury) හමුවේ ලැබූ ඔහුගේ පළමු සහ එකම වෘත්තීය පරාජයෙන් පසුව නැවත යථා තත්ත්වයට පත්වීමට උත්සාහ කරමින්. තමාගේ අඩුපාඩු හදා ගන්නේ කෙසේද කියා නොදැන ඔහු සිටියේ මානසිකව අසීරු අඩියක.
කෙසේ වෙතත්, ලීඑඩෑම් සමග පෝල්ගේ සම්බන්ධතාව එම කුණාටුව පසුකර යාමට උපකාරයක් වූ අතර තමා වැටී සිටි පරාජයේ අඳුරු අගාධයෙන් ගොඩ ආවේ ඇගේ ආදරය නිසා බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
ස්පයිස ද ඇගේ ස්වාමි පුරුෂයා ට එවැනිම බලපෑමක් ඇති කර තිබෙනවා. වසර පහළොවකට පෙර ඇය සිරෙන් නිදහස්ව පැමිණෙන විට ටයිසන් මත්ද්‍රව්‍යවලට ඉතා තදින් ඇබ්බැහි වී සිටියේ අඛණ්ඩව කොකේන් හා මත්පැන් භාවිතා කරමින්.
කෙසේ වෙතත්, ටයිසන්ගේ ජීවිතය වෙනස් කර මත්ද්‍රව්‍යවලින් මිදීමට තෙවැනි බිරිඳ ඔහුට උපකාර වුනා. තමාගේ බිරිඳ නැත්නම් තමා ‘හීලා නැති දරුණු සතෙක්’ වීමට ඉඩ තිබූ බව ටයිසන් වරක් කියා තිබුනා.
ඔවුන්ගේ වසර 15ක විවාහ දිවිය ආරම්භයේ අඳුරු යුගයකට මුහුණ දීමෙන් පසුව තමාගේ ජීවිතය බේරා ගත්තේ ස්පයිස බව ඔහු කියනවා.
ශුද්ධ වටිනාකම
යූටා ලීඑඩෑම් සහ ලකියා ස්පයිස මූල්‍යමය අතින් යහපත් තත්ත්වයක සිටිනවා. ඒ ඔවුන්ගේ ධනවත් සහකරුවන් නිසා නොව ඔවුන්ගේ පෞද්ගලික ක්‍රියාවන් හේතුවෙන්.

හිම මත ලිස්සා යාමේ තරග බිමේ සාර්ථකත්වය හා සමාජ මාධ්‍යයේ ජනප්‍රියත්වය නිසා ලීඑඩෑම් ට විශාල ධනයක් ලැබී තිබෙනවා. ඇය ඩොලර් මිලියන පහක් (පවුම් මිලියන 3.8) පොහොසත් බවට තක්සේරු කර තිබෙනවා. මේ අතර, ඇගේ පෙම්වතා වන පෝල්ගේ වර්තමාන වටිනාකම ඩොලර් මිලියන 38ක් (පවුම් මිලියන 30) බවට වාර්තා වී තිබෙනවා.

ස්පයිස ද පොහොසත්. ඇයට තිබෙන සාප්පුව නිසා ඇයගේ ධනය ඩොලර් මිලියන 1-3 පමණ වන බවට විවිධ වෙබ් අඩවි අනාවැකි කියා තිබෙනවා.
නොවැම්බර් 15 වැනිදා පැවැත්වෙන තරගයෙන් මයික් ටයිසන් ට පවුම් මිලියන 15ක පමණ මුදලක් ලැබීමට නියමිතව තිබෙන බැවින් ඔවුන්ගේ පවුලේ ධනය තව තවත් ඉහළ යාමට නියමිතයි.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






