හිටපු ලෝක හෙවිවේට් බොක්සිං ශූර මයික් ටයිසන් හා සමාජ මාධ්‍ය තරුවක් වන ජේක් පෝල් අතර පැවති තරගයේදී ටයිසන් ප්‍රදර්ශනය කළේ එදා මෙදා තුර ශ්‍රේෂ්ඨතම ඔස්කා සම්මාන ජයග්‍රාහී රංගනයක් බව චිත්‍රපට ලෝකයේ විශිෂ්ටතම ප්‍රබන්ධ බොක්සිං සටන්කරුවකු වන සිල්වෙස්ට ස්ටැලෝන් (Sylvester Stallone) පවසනවා.
ලොව පුරා ඉතාමත් ජනප්‍රිය වූ රොකී (Rocky) චිත්‍රපට මාලාවේ රොකී බැල්‌බොආ (Rocky Balboa)ගේ සංකේතාත්මක චරිතය රඟපෑ ස්ටැලෝන් මෙසේ කියා තිබෙන්නේ ඉන්ස්ටග්‍රෑම් හි තබන ලද පෝස්ටුවකින්.
“මගේ පෞද්ගලික වාර්තාව කෙළින් තියාගෙන කතා කරනවා නම්, බිස්නස් නම් බිස්නස්. සමහර අවස්ථාවලදී ඔබට ඔබේ පවුලට උදව් කිරීම සඳහා ඒ අය වෙනුවෙන් කැප කිරීමක් ලෙස සමහර දේවල් කරන්න සිද්ධ වෙනවා” යනුවෙන් ස්ටැලෝන් ප්‍රකාශ කරනවා.

“මම මේ ඇදහිය නොහැකි ක්‍රීඩකයාව (ටයිසන්) දන්නේ එයාට වයස අවුරුදු 19 ඉඳන්. ජේක් පෝල් සමග තරගයේදී අපි ටයිසන්ගෙන් දුටුවේ ඔස්කා සම්මානය දිනා ගැනීමට තරම් වටිනා ශ්‍රේෂ්ඨතම රංගනයක්!!!!”
“ඒ නිසා අවසාන වශයෙන් මම රොකී චිත්‍රපටයේ වදන් පෙලක් ඉදිරිපත් කරන්නම්. ‘ඔහු විනාශකාරී යන්ත්‍රයක්. ඔහු ස්පර්ශ කරන හැම දෙයක්ම දරුණු විදියට කැඩෙනවා.’ දිගටම මුෂ්ටි ප්‍රහාර එල්ල කරන්න මයික්. ඔබ වගේ මිනිහෙක්, ඔබ වැනි සටන්කරුවෙක්, ඔබ වැනි ආත්මයක් ආයෙ කවදාවත් දකින්න ලැබෙන්නේ නැහැ! දිගටම ගහගෙන යන්න... ශූරයන්ගෙත් ශූරයා!”
විනිසුරුවන්ගේ ඒකමතික තීරණයකින් ජේක් පෝල් තරගය ජය ගත්තේ එය සම්පූර්ණ වට අට පුරාම පැවැත්වීමෙන් පසුව. අවසානයේ විනිසුරුවන් පෝල්ගේ වාසියට 80-72, 79-73 හා 79-73 වශයෙන් ලකුණු ලබා දුන්නා.

මේ තරගයේදී ටයිසන් ක්‍රීඩා කළ අන්දම පිළිබඳව ඔහු බොහෝ විවේචනයන්ට ලක්වුනා. 58 හැවිරිදි ටයිසන් වෘත්තීය බොක්සිං තරගයකට පිවිසියේ 2020 වසරේදී රෝයි ජෝන්ස් (කණිෂ්ඨ) සමග පැවැත්වූ ප්‍රදර්ශනාත්මක තරගයකින් පසුව ප්‍රථම වතාවට.
සිල්වෙස්ට ස්ටැලෝන් රොකී චිත්‍රපටයේ රොකී බැල්බොආගේ චරිතයට පණ පොවමින් නිරූපණය කළේ සටන්කාමී ජීවයක්. එහිදී ඔහු රඟ දැක්වූයේ සත්‍ය දුර්වලයෙකුගේ කතාවක්. ඔහුගේ නළු සගයෙකු වූ මයිකල් බී. ජෝඩන් (Michael B. Jordan) පසුව එය ‘ක්‍රීඩ්’ (Creed) නමින් චිත්‍රපට මාලාවක් ලෙස ඉදිරියට ගෙන ගියා.
සටහන :
(වර්නන් ගුණසේකර)ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






