පාකිස්තානයේ පවතින දේශපාලන කැලඹිල්ල හේතුවෙන් ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම ඔවුන්ගේ සංචාරය අතරමැද නතර කර එරටින් පිටත්ව යාමත් සමග 2025 චැම්පියන්ස් කුසලාන තරගාවලිය සම්පූර්ණයෙන්ම පාකිස්තානයෙන් ඉවත් කෙරෙන ලකුණු පහළ වෙමින් තිබෙනවා.
ඉන්දියා ක්‍රිකට් කණ්ඩායම මේ තරගාවලියේ ක්‍රීඩා කිරීම පිණිස පාකිස්තානය ට පැමිණීම ප්‍රතික්ෂේප කර තිබීම නිසා එම තරගාවලිය එරට පැවැත්වීමේ අවිනිශ්චිත තත්ත්වයක් මීට පෙර සිටම ඉස්මතුව තිබුනා. ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම තරගාවලියක් අතරමග ඉන් ඉවත්වීමෙන් තත්ත්වය වඩාත් බරපතළ වී තිබෙනවා.
පාකිස්තාන ‘ඒ’ කණ්ඩායම සමග පැවැත්වෙමින් තිබූ ඕවර 50 තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා නොකර ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම එරටින් පිටව ගියේ ලබන වසරේ පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග සටහන තීරණය කිරීම සඳහා ජගත් ක්‍රිකට් කවුන්සලය (ICC) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවට දිනයකට පෙර. තවත් රටවල් කිහිපයක් ද ඔවුන්ගේ ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබීම නිසා මේ තරගාවලිය පාකිස්තානයෙන් ඉවත් කර ගැනීමේ තර්ජනයක් මතුව තිබෙනවා. මේ හේතුවෙන් සමහර තරග වෙනත් රටක පැවැත්වීමේ ‘හයිබ්‍රිඩ්’ ක්‍රමවේදයකට එකඟ වීමට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයට (PCB) සිදුවීමට ඉඩ තිබෙනවා.
පාකිස්තානයේ ෆෙඩරල් අගනුවර කලාපයේ හටගෙන තිබෙන සමාජයීය හා දේශපාලනික නොසන්සුන්තාව හේතුවෙන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඔවුන්ගේ ඉතිරි තරග ක්‍රීඩා නොකිරීමට තීරණය කිරීම නිසා, ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් සාර්ථකව එරට පැවැත්වීමට හැකි බවට පාකිස්තානය කරන ප්‍රකාශයට මරු පහරක් වැදී තිබෙනවා.

2025 චැම්පියන්ස් කුසලානය පැවැත්වීම හරහා පාකිස්තානය අපේක්ෂා කරමින් සිටියේ 1996 වසරෙන් පසුව ඔවුන්ගේ පළමු ICC ඉසව්වට සත්කාරකත්වය දැක්වීමට. එහෙත් මේ සිදුවීමෙන් පසුව ඒ අවස්ථාව ඔවුන්ගෙන් ගිළිහී යමින් තිබෙනවා. බන්ධනාගාරගත කර තිබෙන පාකිස්තානයේ හිටපු අගමැති හා ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් විශාල පිරිසක් අගනුවර වැටලීමේ උත්සාහයක යෙදෙමින් ඊට ඇතුළත්ව සිටින බැවින් අගනුවරට දැන් දැඩි ආරක්ෂක මුරකාවල් යොදා තිබෙනවා.
චැම්පියන්ස් කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා සිය රටේ දේශසීමාව හරහා සංචාරය කිරීම ඉන්දියා කණ්ඩායම විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ඇතිවූ මේ සිද්ධිය නිසා එම තරගාවලියේ සත්කාරකත්වය දැරීමේ නොහැකියාව දැන් තවත් වැඩිවී තිබෙන අතර ICCය මේ තරගාවලියේ සත්කාරක අයිතිය පාකිස්තානයෙන් ඩැහැ ගැනීමේ අවස්ථාව දැන් තවත් ශක්තිමත්ව තිබෙනවා.
2009 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව දශකයකට වැඩි කාලයක් පාකිස්තානයේ සංචාරය කිරීම ජාත්‍යන්තර කණ්ඩායම් විසින් ප්‍රතික්ෂේප කළා. ඉන්පසු ශ්‍රී ලංකාව, එංගලන්තය, බංග්ලාදේශය හා නවසිලන්තය යන රටවල් ඔවුන්ගේ කණ්ඩායම් කෙටි තරග සංචාර සඳහා පාකිස්තානයට යවනු ලැබුවේ මෑතකදී.
ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායමේ සංචාරය අවලංගු කිරීමත් සමග චැම්පියන්ස් කුසලානය සඳහා පැමිණෙන ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව දැඩි සෝදිසියකට ලක්ව තිබෙනවා.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






