leader s

සුවිශේෂී දස්කම්වලින් ඉතා දීප්තිමත් වෙමින් කෙටි දුර දිවීමේ වේගයේ නීති අලුතින් ලියමින් සිටින 16 හැවිරිදි කොල්ලෙක් පිළිබඳ නිහඬ කතාබහක් මලල ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ පසුගිය සති කිහිපයේ ඇතිව තිබුනා.

ඔස්ට්‍රේලියාවේ ගඋට් ගඋට් (Gout Gout) කෙටි දුර ධාවනයේ ශ්‍රේණිගත කිරීම් ඉරා දමමින් ඉදිරියට යමින් සිටින්නේ ලොව අනෙකුත් ධාවකයන් බිය ගන්වන වේගයකින්.

ගෝලීය ක්‍රීඩා වේදිකාවට අනාගත බලාපොරොත්තු තැබිය හැකි ඉතාමත් තරුණ ක්‍රීඩකයන් බිහිවෙමින් තිබෙන මේ ක්‍රීඩා යුගයේ තමන්ගේ ද පැමිණීම දන්වා සිටීමට තවමත් පාසල් යන මේ කොල්ලා ඔහුගේ කාලය නාස්ති කළේ නැහැ.

බ්‍රිස්බන් නගරයේ සෙනසුරාදා පැවති ඔස්ට්‍රේලියානු පාසල් ශූරතාවලියේදී වයස අවුරුදු 18න් පහළ මීටර් 100 දිවීම ඉසව්වේ ඉතිහාසයේ සිවු වැනියට වේගවත්ම කාලය සටහන් කර දිනකට පසුව ගඋට් , දීර්ඝ කාලයක් තිස්සේ පැවති ඔස්ට්‍රේලියාවේ පිරිමි මීටර් 200 වාර්තාව මකා දැමීමට ද සමත් වුනා.

මීටර් 200 ඉසව්ව තත්පර 20.06කින් නිම කරමින් පීට නෝමන් (Peter Norman) 1968 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සටහන් කළ ඔස්ට්‍රේලියානු ජාතික වාර්තාව එරට ඉතිරිව තිබූ පැරණිතම වාර්තාව යි. එහෙත් ගඋට් එම ඉසව්ව තත්පර 20.04කින් අවසන් කරමින් නව වාර්තාවක් පිහිටුවූයේ අවුරුදු 56කට පසුව.

 



ගඋට් දැන් මීටර් 200 ධාවන තරග ඉතිහාසයේ වයස අවුරුදු 16 වේගවත්ම ක්‍රීඩකයා බවට පත්ව සිටිනවා. මීට අමතරව ඔහු එදා මෙදා තුර මීටර් 200 ඉසව්වේ වයස අවුරුදු 18 ට අඩු දෙවැනියට වේගවත්ම කාලය සටහන් කළ ක්‍රීඩකයා ද වනවා. දැන් ඔ්ෂනියා මීටර් 200 නව වාර්තාව උසුලන්නේ ද ගඋට්.

මීටර් 100 දුර දිවීමේ ඉසව්ව ගඋට් නිම කළේ තත්පර 10.04ක වේගයකින් (+3.4ක සුළඟක් සමග). මෙය ඔ්නෑම දේශගුණික තත්ත්වයක් යට‌තේ ඔස්ට්‍රේලියානුවෙක් වාර්තා කළ සිවුවැනියට වේගවත්ම කාලය.

“මේවා වැඩිහිටි අය වාර්තා කළ කාලයන්. තාමත් ළමයෙකු වන මම ඒවා අභිබවා යනවා. සත්තකින්ම මගේ අනාගතය විශිෂ්ට එකක් වේවි” යනුවෙන් ගඋට් පවසනවා.

“මම ඒ වාර්තාව හඹා යමින් සිටියේ ගොඩ කලක පටන්. නමුත් එය මේ වසරේ සිදුවේවි කියලා මම හිතුවේ නැහැ. මම හිතුවේ ඒක ලබන වසරේ හෝ ඊළඟ අවුරුද්දේ සිදුවෙයි කියලා.”

ගඋට් කෙටි දුර ධාවන තරග බිමට පිවිසියේ 2022 වසරේ 14 හැවිරිදි වියේ සිටියදී මීටර් 100 ඉසව්ව තත්පර 10.57කින් අවසන් කරමින්. මේ දෙසැම්බර් මස අග දවස්වල 17 වැනි වියට පා තබන මේ ඔස්ට්‍රේලියානුවා පසුගිය දෙවසර තුළ දැක්වූ දස්කම්වලින් කෙටි දුර ධාවනයේ ජැමෙයිකානු පුරාවෘත්තය වන යුසේන් බෝල්ට් ට සමාන කිරීම් උපයා ගැනීමට සමත්ව තිබෙනවා.

අගෝස්තු මාසයේදී ඔහු තවත් වැඩිදුර අවධානයක් තමන් වෙත යොමුකර ගත්තේ 2024 ලෝක මලල ක්‍රීඩා අවුරුදු 20න් පහළ ශූරතාවලියේදී මීටර් 200 ඉසව්වේ තත්පර 20.60 කාලයක් වාර්තා කරමින්. මෙය බෝල්ට් 15 වැනි වියේ සිටියදී 2002 වසරේ බිහිකළ වාර්තාවට වඩා තත්පර 0.01ක් වේගයෙන් වැඩියි.

gout gout 02 120624 9fe6d60c350c473f91daeb34c536c7d3
“මගේ ඒ වීඩියෝව ලෝක කණිෂ්ඨ ශූරතාවලියට ඉතාම ආසන්නව තිබියදී වේගයෙන් ජනප්‍රිය වුනා. එයින් මට පීඩනයක් නිර්මාණය වුනා. නමුත් පීඩනය විසින් දියමන්ති හදනවා කියල කතාවක් මම අහලා තියෙනවා. මේ මොහොතේ මම දියමන්තියකට වඩා වටිනවා කියලා මම හිතනවා” යනුවෙන් ගඋට් කියනවා.

පීට නෝමන්ගේ තත්පර 20.06 කාලය ඔහුට මෙක්සිකෝ නගරයේ පැවති 1968 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කම හිමිකර දුන්න ද, ඒ තරගය වඩාත් ප්‍රසිද්ධ වූයේ ඉන්පසුව සිදුවූ සිද්ධීන් හේතුවෙන්.

කළු ජාතික කෙටි දුර ධාවකයන් වන ටොමී ස්මිත් (Tommie Smith) හා ජෝන් කාලොස් (John Carlos) පිළිවෙලින් රන් හා ලෝකඩ පදක්කම් දිනා ගත් අතර ඒ දෙදෙනා ම පදක්කම් ප්‍රදානය කෙරුනු කුඩා වේදිකාවේදී, වර්තමානයේ සංකේතයක් බවට පත්ව තිබෙන කළු ශක්තියේ සැලියුට් කිරීම වන එක මිටක් ඉහළට එසවීම ප්‍රදර්ශනය කළා. ඔවුන් එමගින් පළ කළ විරෝධයේ ඉලක්කය වූයේ ඔවුන්ගේ උපන්බිමේ දැවෙමින් තිබෙන ජන වර්ග වෙන්කර තැබීම හා ජාතිවාදය මතුකර දැක්වීම.

gettyimages 2188653651 copy

 

ඊට සහයෝගය දක්වමින් නෝමන් ඔහුගේ වම් ළපැත්තේ, “මානව අයිතීන් සඳහා වන ඔලිම්පික් ව්‍යාපෘතිය” යන ලාංජනය පැළඳ සිටියා. එය, ක්‍රීඩාවේ ජාතිවාදයට විරුද්ධ වීම පිණිස ඊට වසරකට පෙර පිහිටුවා ගෙන තිබූ සංවිධානයක සලකුණක්. 

යුද්ධයෙන් බැට කන දකුණු සුඩානයේ සංක්‍රමිකයන්ගේ පුතෙකු වන ගඋට් ජීවත් වන්නේ ඔහුට වයස අවුරුදු 24 වන විට 2032 ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිත බ්‍රිස්බන් සිට දිවෙන මාර්ගයේ පිහිටි ඉප්ස්විච් නමැති ක්වීන්ස්ලන්ඩ් නගරයේ.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්