අමෙරිකාවේදී තව සිවු වසරකින් පැවැත්වෙන ‘ලොස් ඇන්ජලීස් 2028’ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට අලුත් ගෝලීය පාලක සම්මේලනයක් යටතේ තමන්ගේ ක්‍රීඩකයන් සහභාගි කරනවා ද
එසේත් නැත්නම් බොක්සිං ක්‍රීඩාව ඔලිම්පික් තරග බිමෙන් ඉවත් වන අයුරු බලා සිටිනවා ද යන්න තීරණය කිරීමට ලෝකයේ ජාතික බොක්සිං සංගම්වලට කාලය පැමිණ ඇතැයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) සභාපති Thomas Bach ප්‍රකාශ කරනවා.
පාලන හා මූල්‍ය කටයුතු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අසමත් වීම හේතුවෙන් IOCය විසින් පසුගිය වසරේදී ජාත්‍යන්තර බොක්සිං සංගමයේ (IBA) පිළිගැනීම අහෝසි කිරීමෙන් පසුව පැරිසියේ පැවති 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බොක්සිං තරගාවලිය මෙහෙයවූයේ IOCය යි.

1912 වර්ෂය හැරෙන්නට 1904 සිට පැවති සෑම ඔලිම්පික් ක්‍රීඩා උළෙලක ම බොක්සිං තරග ඇතුළත්ව තිබූ පසුබිමක, මීළඟ 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් තරග වැඩසටහනට එම ක්‍රීඩාව IOCය විසින් තවමත් ඇතුළත් කර නැති අතර නව ගෝලීය බොක්සිං පාලක මණ්ඩලයක් පත්කරන ලෙසත් එසේ නොවුනහොත් තව වසර හතරකින් ඔලිම්පික් බොක්සිං ක්‍රීඩාව නැතිවීමේ අවදානම ගන්නා ලෙසත් IOCය ජාතික බොක්සිං සංගම්වලට අනතුරු අඟවනවා.
“දැන් මේ කාරණාව තියෙන්නේ ඒ ඒ රටවල ජාතික බොක්සිං සංගම් අතේ. ඔවුන්ගේ ක්‍රීඩකයන්ට ඔලිම්පික් පදක්කම් දිනා ගැනීමේ අවස්ථාව ලබා දෙනවා ද නැද්ද යන්න ඔවුන් තීරණය කළ යුතුයි” IOC සභාපතිවරයා සඳහන් කරනවා.
Thomas Bach
“එය බොහොම පහසු තීරණයක්. සංගම් ගණනාවක්ම මේ වෙනුවෙන් ඉදිරියට එන ලකුණු පහළ වී තිබෙනවා.”
‘ලෝක බොක්සිං’ (World Boxing) යනුවෙන් නව සංවිධානයක් 2023 වසරේ ආරම්භ කළ අතර ඊට මහාද්වීප පහක් හරහා සාමාජිකයන් 55ක් දැනටමත් ඇතුළත්ව සිටිනවා. IBA වෙනුවට බොක්සිං ක්‍රීඩාවේ ගෝලීය සංවිධානය ලෙස ක්‍රියා කිරීමේ හැකියාවක් තිබෙන එකම සංවිධානය එය වන අතර මේ සම්බන්ධයෙන් 2025 වසරේදී තීරණයක් ගන්නා බව IOCය කියා සිටිනවා.
පාලනය හා මූල්‍ය කටයුතුවලට අමතරව තරග විනිශ්චය හා ආචාර සම්පන්න කාරණා මත ද 2019 වසරේදී IBA තහනම් කළ IOCය ඔවුන්ගෙන් කලාතුරකින් දිස්වන ක්‍රියාවක් සිදුකරමින් IBA ට තිබෙන පිළිගැනීම 2023 වසරේදී අත්හිටුවූයේ ඊට පෙර 2021 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බොක්සිං තරගාවලිය මෙහෙයවීම සඳහා IBA සහභාගි කර ගැනීමෙන් වැළකී සිටිමින්.
ඉමාන් කලීෆ්
ලිංගිකත්වයේ මතභේදයට ලක්වූ ඇල්ජීරියාවේ ඉමාන් කලීෆ් හා තායිවානයේ ලින් යූ-ටිං සම්බන්ධයෙන් ද මේ සංවිධාන දෙක අතර මත ගැටුමක් පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී හටගෙන තිබුනා.
මේ තරගකාරියන් දෙදෙනාගේ ශරීරවල පිරිමි ජාන තිබෙන බව පවසමින් IBA ඔවුන්ගේ පසුගිය වසරේ ලෝක ශූරතාවලියෙන් ඒ දෙදෙනා ඉවත් කළ ද එම ක්‍රීඩිකාවන් දෙදෙනාට ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තරග කිරීමට IOCය අවස්ථාව ලබා දුන් අතර අවසානයේ ඔවුනොවුන්ගේ බර පංතිවල රන් පදක්කම් දිනා ගැනීමට ඉමාන් කලීෆ් හා ලින් යූ-ටිං සමත් වුනා.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






