ශ්‍රී ලයන්ස් රග්බි කණ්ඩායම
ශ්‍රී ලයන්ස් - Sri Lions - ක්‍රීඩා සමාජය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අන්තර් සමාජ රග්බි ලීගය වන ‘ඒ’ කොටසේ තරග බිමට ප්‍රථම වතාවට පිවිසෙන්නේ ආදර්ශමත් ක්‍රියාවක් හා සුපිරි සිහිනයක් ද සමගින්.
2024-25 ‘ඒ’ කොටසේ ලීගයේ සාධාරණ ක්‍රීඩාව වැඩියෙන්ම ප්‍රදර්ශනය කරන කණ්ඩායමට රුපියල් ලක්ෂ පහක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය තීරණය කර තිබීම ඔවුන්ගේ ආදර්ශමත් ක්‍රියාව යි. ශ්‍රී ලංකා ‘ඒ’ රග්බි තරග බිමේ පළමු වරට දක්නට ලැබෙන මේ ආදර්ශය වඩාත් වැදගත් වන්නේ කුසලානයක් වෙනුවෙන් තරග කරන කණ්ඩායමක් ඔවුන්ගේ ප්‍රතිවාදී කණ්ඩායමකට මෙවැනි ත්‍යාගයක් පිරිනැමීම ඉතිහාසයේ මීට පෙර සිදුවී නැති බැවින්.
‘Fair Play සම්මානය’ යනුවෙන් නව මානයක් රග්බි තරග බිමට එක් කිරීම පිළිබඳව ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයේ නිර්මාතෘ සභාපති ආචාර්ය කැළුම් සුජිත් පෙරේරා විසින් අනාවරණය කරනු ලැබුවේ ශ්‍රී ලයන්ස් රග්බි කණ්ඩායමේ ජර්සි එළිදැක්වීම නිමිත්තෙන් ‘ජැට් හෝල්ඩිංස් - JAT Holdings - මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවේ.
(වමේ සිට) ශ්‍රී ලයන්ස් සභාපති ආචාර්ය කැළුම් සුජිත් පෙරේරා, ජැට් හෝල්ඩිංස් විධායක අධ්‍යක්ෂ ඊලියන් ගුණවර්ධන හා ශ්‍රී ලයන්ස් රග්බි නායක කෙවින් ඩික්සන්
ක්‍රීඩා අමාත්‍යංශය, ශ්‍රී ලංකා රග්බි සම්මේලනය හා ශ්‍රී ලංකා රග්බි විනිසුරුවන්ගේ සංගමයේ ද සහයෝගය ඇතිව ප්‍රථම වතාවටයි මේ සම්මානය පිරිනැමෙන්නේ.
“රග්බි යනු ගෞරවය හා සුහදශීලිත්වයේ ක්‍රීඩාවක්. මේ සම්මානය, තරග පිටිය තුළ මෙන්ම ඉන් පිටතදීත් සදාචාරමය හැසිරීමෙ සලකුණක් තබන අතරතුර අවංකකම හා ක්‍රීඩාශීලිත්වය වර්ධනය කරන අපේ ක්‍රමය යි” ආචාර්ය කැළුම් සුජිත් ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තරයේ පෙලහර පාමින් සිටින රග්බි කණ්ඩායමක් බවට පත්ව සිටින ශ්‍රී ලයන්ස්, දෙසැම්බර් 15 වැනිදා නිත්තවෙලදී ප්‍රබල මහනුවර ක්‍රීඩා සමාජයීය කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කරමින් ඔවුන්ගේ ෙඑතිහාසික ‘ඒ’ කොටසේ තරග මෙහෙයුම ආරම්භ කරන්නේ අනාගතයේදී ‘සුපර් රග්බි’ – Super Rugby - ජාත්‍යන්තර තරගාවලියට ක්‍රීඩා කිරීම ඉලක්ක කරගෙන.
‘සුපර් රග්බි’ යනු එංගලන්තයේ ‘ප්‍රිමිය ලීග්’ පාපන්දුවට සමාන ඉහළම තලයේ ජාත්‍යන්තර අන්තර් සමාජ රග්බි ලීගය යි. වෘත්තීය රග්බි සමාජ අතර පැවැත්වෙන මේ තරගාවලියට ක්‍රීඩා කරන්නේ ඔස්ට්‍රේලියාව, ෆිජි දූපත්, නවසිලන්තය හා පැසිෆික් දූපත් යන රටවල්. නුදුරු අනාගතයේදීම මේ ‘සුපර් රග්බි’ තරග බිමේ පෙනී සිටීම ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයේ ඉලක්කය වී තිබෙනවා.
JAT Holdings Gold අනුග්‍රාහකත්වය ඊලියන් ගුණවර්ධන (වමේ සිට තෙවැනියට) විසින් ආචාර්ය කැළුම් සුජිත් ට පිරිනැමූ අවස්ථාව. ශ්‍රී ලයන්ස් රග්බි පුහුණුකරු රජීව් පෙරේරා හා කණ්ඩායමේ කළමනාකාරිනී සුජානි රත්නායක ද මෙහි සිටිනවා.
2019 වසරේ ඔක්තෝබර් 6 වැනිදා ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය ආරම්භ වූ තැන් පටන් මේ දක්වා පැමිණි ගමන පිළිබඳව කතා කරමින් කැළුම් සුජිත් ගෝලීය ක්‍රීඩා ලාංජනයක් ලෙසින් ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයේ විකසනය පෙන්වා දුන්නා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ ක්‍රීඩා 10ක් හඳුන්වා දෙමින් සහ පළමු නත්තල් තරගාවලිය දෙසැම්බර් මාසයේ පැවැත්වීම මගින් එංගලන්තයේ නෙට්බෝල් ක්‍රීඩාව දියත් කරමින් ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය පස් වසරක් තුළ ජාත්‍යන්තර වශයෙන් ව්‍යාප්ත වී සිටිනවා. රටවල් හතක සහයෝගයෙන් දකුණු අප්‍රිකානු රග්බි කණ්ඩායමක් ‘ශ්‍රී ලයන්ස්’ නාමය යටතේ ජාත්‍යන්තර තරග බිමට ඉදිරිපත් කිරීමේ සාකච්ඡා දැන් පැවැත්වෙමින් තිබෙනවා.
“ශ්‍රී ලයන්ස් තරග කරන්නේ ශ්‍රී ලාංකේය ප්‍රජාව තුළ හෝ ‘ඒ’ කොටසේ කණ්ඩායම් අට ට එරෙහිව පමණක් නෙවෙයි. ශ්‍රී ලයන්ස් කවදා හෝ දවසක ‘සුපර් රග්බි’ ක්‍රීඩා කරනු දැකීම මගේ සිහිනය යි” ආචාර්යවරයා කියා සිටියා.
ශ්‍රී ලයන්ස් රග්බි ඇඳුම් කට්ටල
ජාත්‍යන්තර අවධානය දිනා ගනිමින් හා සහයෝගය ලබා ගනිමින් ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩා සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට ද ශ්‍රී ලයන්ස් සභාපතිවරයා බලාපොරොත්තු වනවා. රග්බි ක්‍රීඩාවට අමතරව නෙට්බෝල්, වොලිබෝල්, හොකී, පාපන්දු ඇතුළුව අමතර ක්‍රීඩා නවයක් දිවයිනේ ස්ථාපිත කිරීමට ශ්‍රී ලයන්ස් කටයුතු කරමින් සිටිනවා.
ආණ්ඩුවට දොස් පවරමින් සිටීම වෙනුවට ක්‍රීඩාව දියුණු කිරීම පිණිස ශ්‍රී ලංකා රජයට සහයෝගය ලබා දීමට ශ්‍රී ලයන්ස් කැපවී සිටින බව කැළුම් සුජිත් පවසනවා.
උසස් ගණයේ තරගයක් ප්‍රතිවාදීන්ට ලබා දීම පිණිස අපමණ වෙහෙසක් දරණ ක්‍රීඩකයන්, පුහුණුකරුවන් හා කාර්ය මණ්ඩලයේ කැපවීම ද අගය කළ ඔහු, ක්‍රීඩකයන් සමග කොන්ත්‍රාත් අත්සන් කර තිබෙන්නේ වසර පහක් දක්වා දීර්ඝ කළ හැකි පරිදි දෙවසරකට බවත් ඒ අතරතුර යම් ක්‍රීඩකයෙකුට තම ක්‍රීඩා සමාජය අතහැර වෙනත් ක්‍රීඩා සමාජයකට බැඳීමට අවශ්‍ය නම් ඔහුට ඒ සඳහා සම්පූර්ණ නිදහස තිබෙන බවත් සඳහන් කළා.
ශ්‍රී ලයන්ස් ‘ඒ’ කොටසේ රග්බි කණ්ඩායමට අනුග්‍රහය දක්වන JAT, Lakbima Cargo, Prestige හා අනෙකුත් අනුග්‍රාහක ආයතනවලට සිය ස්තූතිය පළකර සිටීමට ද ආචාර්ය කැළුම් සුජිත් පෙරේරා මෙහිදී අමතක කළේ නැහැ.
පසුගිය වසරේ ‘බී’ කොටසේ ශූරයන් වීමෙන් පසුව උසස් වීමක් ලබාගෙන 2024-25 ‘ඒ’ කොටසේ රග්බි තරග බිමට පිවිසෙන අලුත්ම කණ්ඩායම බවට පත්ව සිටින ශ්‍රී ලයන්ස් සමග JAT Holdings ආයතනය වසර පහක අනුග්‍රාහකත්වයකට එළඹ සිටිනවා.

“දුර්වල කණ්ඩායම් වෙනුවෙන් පෙනී සිටීමේ සම්ප්‍රදායක් ‘ජැට් හෝල්ඩිංස්’ වන අපට තිබෙනවා. ‘ශ්‍රී ලයන්ස්’ තුළ මිනිය නොහැකි තරම් විශාල දියුණු වීමේ හැකියාවක් අපි දකිනවා. මේ හවුල ඇතිකර තිබෙන්නේ ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයට තරග කිරීම පමණක් නොව ප්‍රබෝධමත් කිරීමේ ද අනාගතයක් ගොඩනැගීම වෙනුවෙන්” යැයි JAT Holdings නිර්මාතෘ හා විධායක අධ්‍යක්ෂ ඊලියන් ගුණවර්ධන මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියා.
“2019 වගේ මෑතකදී පිහිටුවා ගත් ක්‍රීඩා සමාජයක් ‘ඒ’ කොටසේ රග්බි ලීගය දක්වා උසස් වීම සුළුපටු කාර්යයක් නෙවෙයි. මේ කොටසේ තරග වදින අනෙක් බොහෝ ක්‍රීඩා සමාජවල ආයුෂ අවුරුදු සීයකට වැඩියි” ඔහු පෙන්වා දුන්නා.
“ශ්‍රී ලයන්ස් සමග මෙවැනි හවුලක් ඇතිකර ගැනීම අපට ගෞරවයක්. ශ්‍රී ලයන්ස් ආරම්භ කළ මේ සංචාරයේදී ඔවුන් තරග පිටියේ මෙන්ම ඉන් පිටතදීත් දිගටම ඉතිහාසය නිර්මාණය කරනු ඇතැයි අපි අපේක්ෂා කරනවා” යනුවෙන් ඊලියන් ගුණවර්ධන වැඩිදුරටත් පැවසුවා.
ශ්‍රී ලයන්ස් රග්බි
ශ්‍රී ලයන්ස් රග්බි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස රජීව් පෙරේරා කටයුතු කරන අතර සුජානි රත්නායක කණ්ඩායමේ කළමනාකාරිනිය යි. සාන්ත පීතර විදුහලේ සහ හැව්ලොක්ස්, සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. හා සී.එච්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයන්හි හිටපු ක්‍රීඩක කෙවින් ඩික්සන්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට උපනායකයන් දෙදෙනෙක් නම් කර තිබෙනවා. ඒ, චානක චන්දිමාල් හා ශෙහාන් ඩයස්.
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම රග්බි තරග බිම වන අන්තර් සමාජ ‘ඒ’ කොටසේ තරගාවලියට කෝඩුකාරයන් ලෙස පිවිසෙන ශ්‍රී ලයන්ස් ක්‍රීඩකයන් පළමු මට්ටමේ රග්බි පුහුණු පාඨමාලාව හදාරා සිටීම විශේෂත්වයක්. එමගින් ඔවුන්ගේ අරමුණ වී තිබෙන්නේ ක්‍රීඩාවේ නීතිරීති හොඳින් අධ්‍යයනය කර උසස් ගණයේ සාධාරණ ක්‍රීඩාවක නියමාකාරයෙන් පෙනී සිටීම.
සටහන :

(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






