ක්‍රීඩාවේ සිදුවන දූෂණය අතුගා දැමීමේ චීනයේ මෙහෙයුමට හසුවූ අලුත් ම පුද්ගලයා බවට පත්ව සිටින්නේ එරට ජාතික පාපන්දු කණ්ඩායමේ හිටපු පුහුණුකරු.
එංගලන්තයේ එවර්ටන් පාපන්දු සමාජය වෙනුවෙන් කලක් එංගලන්ත ප්‍රිමිය ලීගයේ ක්‍රීඩා කළ හිටපු චීන ජාතික පාපන්දු පුහුණුකරු ලී ටයි (Li Tie) අල්ලස් ගැනීමේ චෝදනා මත විසි වසරකට බන්ධනාගාරගත කර තිබෙනවා.
අල්ලස් දීම හා ලබා ගැනීමේ වැරදි ක්‍රියාවන් ගණනාවකට වරදකරු බවට ඔප්පු වීමෙන් පසුව චීනයේ Hubei පළාතේ උසාවියක් මගින් ඔහුට මේ සිරදඬුවම නියම කර තිබෙනවා. දූෂණය වැටලීමේ ක්‍රියාන්විතයේ ලොකුම ක්‍රීඩා නාමය බවට පත්ව සිටින 47 හැවිරිදි ලී ටයි, ජාතික පුහුණුකරු වශයෙන් ඔහුගේ දෙවසරක ධූර කාලය ද ඇතුළුව 2015 සිට 2021 දක්වා කාලයේදී යුවාන් මිලියන 120ක (ඩොලර් මිලියන 16.5) අල්ලස් හසුරුවා ඇතැයි උසාවිය ප්‍රකාශ කර තිබෙනවා.
ලි ටයි, තමා වැරදිකරු බවට පසුගිය මාර්තුවේදී උසාවියේ පිළිගත්ත ද, ඊට පෙර ඔහු පාපොච්චාරණයක් කරමින් ජාතික පුහුණුකරු රැකියාව තහවුරු කර ගැනීමට සහ චීන සුපර් ලීග් තරග පාවාදීම වෙනුවෙන් ඩොලර් 421,000කට ආසන්න අල්ලස් පිළියෙල කළ බව පිළිගත්තා.
ඔහු මෙසේ ප්‍රකාශ කර තිබුනේ චීනයේ ජාතික රූපවාහිනී නාලිකාව වන චීන මධ්‍යම රූපවාහිනී (CCTV) සේවය ජනවාරි මාසයේ විකාශය කළ වැඩසටහනක. අපරාධ සැකකරුවන් උසාවියේ පෙනී සිටීමට පෙර ඔවුන්ගේ පාපොච්චාරණ මේ රූපවාහිනී නාලිකාව විසින් ඉඳහිට විකාශය කරන අතර මේ ක්‍රියාව පිළිබඳව මානව අයිතීන්ගේ සමාජ ක්‍රියාකාරීන් මහත් අප්‍රසාදය පළ කර තිබෙනවා.
චීන පාපන්දුව අවම වශයෙන් 1990 ගණන්වල අග භාගයේ සිට තරග පාවාදීම හා දූෂණය විසින් වෙලාගෙන තිබෙන අතර ජාතික කණ්ඩායමේ දිගින් දිගටම දක්නට ලැබෙන දුර්වල ක්‍රීඩාවට ප්‍රධාන හේතුව දූෂණය බවට ක්‍රීඩා ලෝලීන් චෝදනා කරනවා.
Xi Jinping ජනාධිපතිවරයාගේ දූෂණ විරෝධී මෙහෙයුම යටතේ චීන පාපන්දු සංගමයේ හිටපු ප්‍රධානී Chen Xuyuan ට, ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් මේ වසර මුලදී නියම කෙරුනේ ඔහු යුවාන් මිලියන 81කට (ඩොලර් මිලියන 11) වැඩි අල්ලස් ලබා ගැනීම හේතුවෙන්.

මේ දූෂණ විරෝධී මෙහෙයුමේ කොටසක් වශයෙන් පාපන්දුවේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුටම මේ වසරේදී මාස 30 සිට අවුරුදු 14 දක්වා වන සිරදඬුවම් නියම වී තිබෙනවා. සැප්තැම්බර් මාසයේදී චීන පාපන්දු සංගමය ක්‍රීඩකයන් 38 දෙනෙකුට සහ ක්‍රීඩා සමාජ නිලධාරීන් පස් දෙනෙකුට ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැනවූයේ තරග පාවාදීම හා ඔට්ටු ඇල්ලීම පිළිබඳව කෙරුනු දෙවසරක පරීක්ෂණයකින් පසුව.
පාපන්දු ක්‍රීඩා සමාජ 41ක් සම්බන්ධ වෙමින් තරග 120ක් පාවා දුන් බව මේ පරීක්ෂණයෙන් හෙළිවුනා.
තමා පාපන්දු ලෝලියෙකු බවට ප්‍රකාශ කර ඇති චීන ජනාධිපතිවරයාට උවමනා වී තිබෙන්නේ චීනය කෙදිනක හෝ ලෝක කුසලානයට සත්කාරකත්වය දක්වමින් එය ජයග්‍රහණය කරනු දැකීම. එහෙත් ප්‍රගතියක් පෙන්නුම් කිරීමට චීනයේ පිරිමි පාපන්දු කණ්ඩායම දීර්ඝ කාලයක් තිස්සේ අසමත්ව තිබෙනවා.
ජගත් පාපන්දු සම්මේලනයේ (FIFA) ශ්‍රේණිගත කිරීමේදී චීනය සිටින්නේ ලෝකයේ 90 වැනි ස්ථානයේ.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






