පස් වතාවක් ලෝක චෙස් ශූරයා බවට පත්ව සිටින මැග්නස් කාල්සන් (Magnus Carlsen) ඩෙනිම් ජීන්ස් කලිසමක් පැළඳ තරගයට
සහභාගි වීම සඳහා පැමිණීම හේතුවෙන් ලෝක රැපිඩ් හා බ්ලිට්ස් චෙස් ශූරතාවලියෙන් - World Rapid and Blitz Chess Championship - ඉවත් කර තිබෙනවා.
චෙස් ක්‍රීඩාවේ වේගවත් කාලය පාලනයක් යටතේ තරග කරන ලෝක ශූරයා නිශ්චය කර ගැනීම පිණිස පවත්වනු ලබන මේ ශූරතාවලියට නුසුදුසු ක්‍රීඩකයෙක් ලෙස දඩ මුදලක් ද නියම කරමින් කාල්සන් ඉවත් කර තිබෙන්නේ ඔහු ලෝක චෙස් සම්මේලනයේ (FIDE) ඇඳුම් නීති සංග්‍රහයට එකඟ වීම ප්‍රතික්ෂේප කළ බැවින්.
මේ ක්‍රීඩාවේ ලෝක ශූරයාව සිටින කාල්සන් ට ජීන්ස් කලිසමක් පැළඳ තරගයට සහභාගි වීම හේතුවෙන් ඩොලර් 200ක මුදලක් දඩ ගසා තිබෙන්නේ තරගාවලියේ දීර්ඝ කාලීන නීතිවලට අනුව එය නිශ්චිත වශයෙන් තහනම් කර ඇති බැවින්. අනතුරුව ඔහුගේ ඇඳුම වහාම වෙනස් කරන ලෙසට ප්‍රධාන තීරකවරයා කළ ඉල්ලීම කාල්සන් ප්‍රතික්ෂේප කළ අවස්ථාවේ ඔහුව තරගයෙන් නෙරපා දැමුනා.
චෙස් ක්‍රීඩාවේ සිටින ලොව දක්ෂතම ක්‍රීඩකයෙකු වන නෝවේජියානු ජාතික කාල්සන්, ඊළඟ දිනයේ සිට ඇඳුම් නීතිය පිළිපදින බවට එකඟ වන නමුත් වහාම එසේ කිරීමට ඔහු සූදානම් නැති බව කියා සිටි විට ඔහුව ශූරතාවලියෙන් ඉවත් කෙරුනා.
ඇඳුම් ව්‍යවස්ථාව පිළිබඳව සියලු ක්‍රීඩකයන්ව තරගාවලියට බොහෝ කළින් සිට ම ඉතා හොඳින් දැනුවත් කර ඇති බවත් එය සකසා තිබෙන්නේ චෙස් ක්‍රීඩාවේ වෘත්තීයතාව තහවුරු කිරීමට බවත් චෙස් ක්‍රීඩාවේ ගෝලීය පාලක මණ්ඩලය වන FIDE අවධාරණය කර තිබෙනවා.
මේ නීති පිළිපැදීම වඩාත් පහසු කිරීම පිණිස තරග පැවැත්වෙන ස්ථානයට ඉතා කෙටි දුරකින් ක්‍රීඩකයන්ට නවාතැන් පහසුකම් ලබා දී ඇතැයි ද FIDE ප්‍රකාශ කර තිබෙනවා.
ඊට කළින්, රුසියානු ග්‍රෑන්ඩ්මාස්ටර් කෙනෙකු වන Ian Nepomniachtchi ට ද මෙවැනිම නීති උල්ලංඝනයක් හේතුවෙන් දඩ ගසනු ලැබූව ද ඔහු ඔහුගේ ඇඳුම වෙනස් කර නීතියට අවනත වූ බැවින් ඔහුට දිගටම තරග කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා.
මේ අතර, සිද්ධියෙන් සසල වූ කාල්සන්, තමා FIDE වස්ත්‍ර නීති සංග්‍රහයේ ප්‍රතිපත්තිවලින් විඩාවට පත්ව සිටින බවත් ශූරතාවලියේ ‘බ්ලිට්ස්’ කොටසට තමා සහභාගි නොවන බවත් කියා සිටියා.
“ඇඳුම මාරු කරන්න මට දැන් කරදර වෙන්න බැහැ කියලත්, හෙට මට ඇඳුම වෙනස් කරන්න පුළුවන් බවත් මම කීවා. නමුත් ඔවුන් ඊට එකඟ වුනේ නැහැ. මම දැන් ඉන්නේ FIDE එක්ක හරිම හිතේ අවුලෙන්. ඒ නිසා තරගයට සහභාගි වෙන්න මටත් ඔ්න වුනේ නැහැ. මට දැන් FIDE එපා වෙලයි තියෙන්නේ. මට ඔවුන් එක්ක තවත් ගනුදෙනු කරන්න උවමනාවක් නැහැ” යනුවෙන් මැග්නස් කාල්සන් ප්‍රකාශ කරනවා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






