නත්තල් රාත්‍රි භෝජනය පිළියෙල කරමින් සිටියදී අත තුවාල වීම හේතුවෙන් ලොව අංක 1 ගොල්ෆ් ක්‍රීඩක ස්කොටී ෂෙෆ්ල (Scottie Scheffler) ට
හවායි දූපතේ පැවැත්වෙන PGA Tour ලොව ප්‍රධානතම ගොල්ෆ් තරගමාලාවේ නව වසරේ ක්‍රීඩා වාරයේ ආරම්භක ඉසව්ව අහිමි වී තිබෙනවා.
මේ තුවාලය හේතුවෙන් ෂෙෆ්ල ට ජනවාරි 2 වැනිදා ආරම්භ වන ‘ද සෙන්ට්‍රි’ (The Sentry) නමැති ශූරයන්ගේ තරගාවලියට සහභාගි වීමට නොහැකි වූව ද 16 වැනිදා කැලිෆෝනියාවේ ලකින්ටා නගරයේ ඇරඹෙන ‘ද එමෙරිකන් එක්ස්ප්‍රස්’ (The American Express) තරගාවලියට සහභාගි වීමට හැකිවනු ඇතැයි ඔහු අපේක්ෂා කරනවා.
නත්තල් දිනයේ රාත්‍රි ආහාරය සූදානම් කරමින් සිටියදී ෂෙෆ්ලගේ දකුණු අත්ලට කැඩුනු වීදුරුවක් ඇනීම නිසා මේ තුවාලය සිදුව තිබෙනවා.
කුඩා වීදුරු කැබලි තවමත් ඔහුගේ අත්ලේ සිරවී තිබෙන අතර ඒවා ඉවත් කිරීම සඳහා ශල්‍යකර්මයක් සිදු කිරීම අවශ්‍යව තිබෙනවා. මේ හේතුවෙන් ඔහුට නැවත සියයට සියයකින් සුව වීම පිණිස සති තුන හතරක කාලයක් යන බව වෛද්‍යවරු පවසා තිබෙන බැවින් ඔහුට ‘ද සෙන්ට්‍රි’ තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා. ඔහුට නියමිතව තිබෙන ඊළඟ තරගාවලිය වනුයේ ‘ද එමෙරිකන් එක්ස්ප්‍රස්’.
ලෝකයේ වෘත්තීය ගොල්ෆ් ක්‍රීඩකයන්ගේ සංගමයේ PGA Tour ඉතිහාසයේ වඩාත්ම සාර්ථක ක්‍රීඩා වාරයක් ෂෙෆ්ල මෑතකදී භුක්ති වින්දේ එම සංචාරයේ තරගාවලියන් හතක් ජයග්‍රහණය කරමින්. ඒ අනුව ඔහු 2007 වසරේ ටයිග වුඩ්ස් ට පසුව මෙවැනි ජයග්‍රහණ ප්‍රමාණයක් අත්කර ගත් පළමු ක්‍රීඩකයා බවට පත්වුනා.
පසුගිය මාසයේදී ඔහු පිට පිට තෙවැනි වසරටත් ‘PGA Tour වසරේ ක්‍රීඩකයා’ බවට පත්වුනා.
ෂෙෆ්ල මේ වසරේදී ඔහුගේ දෙවැනි මාස්ටර්ස් කොළපැහැ ජැකට්ටුව, පැරිස් ඔලිම්පික් රන් පදක්කම, PGA Tour ක්‍රීඩා වාර අවසාන සංචාර ශූරතාවලිය, FedEx කුසලාන තරග සහ The Players ශූරතාවලිය ජයග්‍රහණය කරා. ඔහු පසුගිය ක්‍රීඩා වාරය අවසන් කළේ නිල නොවන Hero ලෝක අභියෝගතා ආරාධිත තරගාවලිය ජය ගනිමින්. මේ සමග ඔහුට මේ වසර තුළ පැවති සියලු ගොල්ෆ් තරගාවලියන්හි ජයග්‍රහණ නවයක් හිමිවුනා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






