මයිකල් ජෝඩන් (Michael Jordan) යනු එදා මෙදා තුර බිහිවූ ශ්‍රේෂ්ඨතම බාස්කට්බෝල් ක්‍රීඩකයෙක් පමණක් නෙවෙයි. ඔහු NBA ඉතිහාසයේ පළමු බිලියනපතියා ද වනවා. ෆෝබ්ස් සඟරාවේ ධනවත්ම අමෙරිකානුවන් 400 ලැයිස්තුවට ඇතුළත් වූ ලොව ප්‍රථම වෘත්තීය ක්‍රීඩකයා වන්නේ ද මයිකල් ජෝඩන්.
චිකාගෝ පළාතේ ජෝඩන්ගේ පුරාවෘත්තමය මන්දිරය බොහෝ කලක් තිස්සේ තිබුනේ ඉඩකඩම් දේපළ සමකයේ. දශකයකට වැඩි කාලයක් අළෙවි නොවූ මේ දැවැන්ත සුඛෝපභෝගී මන්දිරය දැන් ගැනුම්කරුවෙකු සොයා ගෙන තිබෙනවා.
වසර 12කට පසුව මේ මන්දිරය විකිණී තිබෙන්නේ ඩොලර් මිලියන 9.5කට. නමුත් මේ මන්දිරය ඉදිකිරීම පිණිස ජෝඩන් වැය කළ මුදල ඩොලර් මිලියන 50ක්. 2012 වසරේදී මේ මන්දිරය අළෙවි කරන බවට මුලින් ප්‍රකාශිත මුදල වූයේ ඩොලර් මිලියන 29ක්. සුඛෝපභෝගී දේපළ වෙළඳාම් ලෝකයේ මෙය හඳුන්වන්නේ බරපතල මිල අඩු කිරීමක් ලෙස.
මයිකල් ජෝඩන්
2015 වසර වන විටත් මෙහි ඉල්ලුම් මිල ඩොලර් මිලියන 14.855 දක්වා පහත බැස තිබුනා. මේ අංකය දෛවයේ සරදමක්. මේ ඉලක්කම්වල එකතුව වන 23 ජෝඩන්ගේ ජර්සි අංකය වන අතර එයින් මන්දිරයේ ඉදිරි ගේට්ටුව අලංකාර වී තිබෙනවා.
මෙය සාමාන්‍ය නිවසක් නෙවෙයි. ‘ලෙජන්ඩ් පොයින්ට්’ (Legend Point) නමින් ප්‍රචලිත වර්ග අඩි 56,000ක මේ හයිලන්ඩ් පාක් ඉඩම ජෝඩන්ගේ ක්‍රීඩා දිවිය හා පැහැදිලි ජීවන විලාසයේ සිද්ධස්ථානයක්.
සිතාගත හැකි සෑම සුඛෝපභෝගී පහසුකමක් ම මේ මන්දිරයේ තිබෙනවා. අක්කර හතක භූමියක තිබෙන මේ නිවසේ තිබෙන දොරවල් ඇතුළු සියලු දෙයක් ම නිවසේ අයිතිකරු මෙන්ම අද්විතීය ගණයේ ඒවායි. නිදන කාමර 9ක්, නානකාමර 17ක්, ටෙනිස් පිටියක්, නිස්කලංකව සුරුට්ටු උරන කාමරයක් හා විධිමත් බාස්කට්බෝල් පිටියක් ද මේ මන්දිරයේ තිබෙනවා.

මයිකල් ජෝඩන් තරමට ම පුරාවෘත්තයක් වන මේ මන්දිරය සැලසුම් කර තිබෙන්නේ ඔහුගේ ජීවිතයට වඩා විශාල උරුමයක් ප්‍රදර්ශනය කරන කෞතුකාගාරයක් ලෙස.
එහෙත් මෙහි අභියෝගයක් ද ගැබ්ව තිබෙනවා. එනම්, මේ මන්දිරය අයිති කර ගැනීමෙන් ජෝඩන්ගේ ජීවිතයට අනුගත වන බවක් හැඟෙනවා. සමහර විට මේ නිවස මෙතරම් කාලයක් අළෙවි නොවීමට හේතුව ද එය විය හැකියි. එතරම් ප්‍රබල ජෝඩන් ශක්තියක් තිබෙන නිවසක් තමන්ගේ කර ගන්නේ කෙසේද?
අභිරහස් ගැනුම්කරුවා කවුරු වූවත් ඔහු ඉදිරියේ තිබෙන්නේ දැවැන්ත ව්‍යාපෘතියක්. පුරාවෘත්තමය ‘ලෙජන්ඩ් පොයින්ට්’ වෙනත් දෙයක් බවට පරිවර්තනය කිරීම සුළුපටු කාර්යයක් නෙවෙයි. ජෝඩන් 1991 වසරේ චිකාගෝ බුල්ස් කණ්ඩායමට ක්‍රීඩා කරමින් සිටි අවධියේ මේ නිවස මුල සිට ඉදිකළේ ඩොලර් මිලියන 50ක මුදලක් වැය කරමින්. ජෝඩන් 1991 වසරේදී මේ දේපළ මිලදී ගෙන තිබෙන්නේ එය පාළු ඉඩමක්ව තිබියදී.

මේ අතර, මයිකල් ජෝඩන් ඔහුගේ නිවස විකිණීමට ප්‍රමාද වීම ගැන කරදර වෙන්නේ නැහැ. බොහෝ කලක පටන් ඔහු ප්‍රබෝධමත් ෆ්ලොරිඩා නගරයේ පදිංචිව සිටින්නේ ගේට්ටු දැමූ ප්‍රජාවක ඩොලර් මිලියන 16.5ක මන්දිරයක් මිලදී ගෙන. මෙය මේ පළාතේ ඔහුගේ දෙවැනි නිවස යි.
වසර 12ක් වෙළඳපොලේ පල්වෙමින් තිබීමෙන් පසුව ‘ලෙජන්ඩ් පොයින්ට්’ ට දැන් අලුත් ගැනුම්කරුවෙක් සිටිනවා. නමුත්, මේ මන්දිරය සැමදා මයිකල් ජෝඩන්ගේ ම නිවස වනු ඇත.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






