මැග්නස් කාල්සන් (Magnus Carlson) චෙස් ක්‍රීඩාවේ රජා ලෙස තමන්ට තිබෙන තත්ත්වය යළි තහවුරු කර තිබෙන්නේ ගාම්භීර විලාසයෙන්.
පළමුව, ඔහු ඩෙනිම් ජීන්ස් කලිසමක් පැළඳ ලෝක රැපිඩ් චෙස් තරගාවලියට පැමිණ ඇඳුම් නීති ලිහිල් කරන ලෙසට බල කරමින් ලෝක චෙස් සම්මේලනය (FIDE) තමන් ඉදිරියේ දණගැස්සුවා. දෙවනුව, ලෝක බ්ලිට්ස් චෙස් ශූරතාවලියේ ආරම්භක තරගයට ප්‍රමාද වී පැමිණ ප්‍රතිවාදියා පරාජය කළා. ඔහුගේ ප්‍රමාදයට හේතුව වූයේ මේ තරගයට පැළඳීම පිණිස අලුත් ඩෙනිම් කලිසමක් මිලදී ගැනීම සඳහා ‘ෂොපිං’ යෑම.
නිව්යෝක් නුවර පැවති ලෝක චෙස් තරගාවලියේ පළමුව පැවති රැපිඩ් ශූරතාවලියට ජීන්ස් පැළඳ පැමිණීම හේතුවෙන් කාල්සන් ට දඩ මුදලක් නියම කිරීමෙන් පසුව ඇඳුම වෙනස් කර තරගයට සහභාගි වන ලෙසට සංවිධායකයන් ඔහුට දැනුම් දුන්නා. නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කරමින් රැපිඩ් තරගාවලියෙන් ඉවත් වුනා.

ඉන්පසු ලෝක චෙස් සම්මේලනය ප්‍රකාශයක් කරමින් තමන් ඇඳුම් නීතිය ලිහිල් කරන බවත් ජීන්ස් පැළඳ ක්‍රීඩකයන්ට තරග කිරීමට හැකි බවත් ප්‍රකාශ කළා. ඒ අනුව කාල්සන් දෙවනුව පැවති බ්ලිට්ස් තරගාවලිය සඳහා ජීන්ස් කලිසමකින් සැරසී පැමිණියේ චෙස් ලෝකයේ තමන් සතු බලය ප්‍රදර්ශනය කරමින්.
බ්ලිට්ස් තරගාවලිය සඳහා නෝවේජියානු ජාතික කාල්සන්ගේ උසස් ප්‍රවේශයේ අනෙක් වැදගත් සිදුවීම වූයේ තරගය සඳහා තමාට තිබෙන කාලය අඩුවෙමින් තිබීම පිළිබඳව ඔහු තඹ දොයිතුවකට හෝ මායිම් නොකිරීම. ඔහුගේ ප්‍රතිවාදියා වූ ජර්මනියේ මයිකල් බෙසෝල්ඩ් ඔහුගේ ඉත්තන් ඇදීම ආරම්භ කරමින් ඔරලෝසුව ක්‍රියාත්මක කරන විට කාල්සන් පෙනෙන්නට සිටියේ නැහැ.
බ්ලිට්ස් චෙස් තරග සඳහා ඉත්තෙක් ඇදීම පිණිස මිනිත්තු තුනක් බැගින් වන කාල පාලනයක් තිබෙන අතර එක් ඇදීමක් වෙනුවෙන් තත්පර දෙකක් බැගින් වන වැඩිවීමක් තිබෙනවා. කාල්සන් ඉක්මනට ඔහුගේ චෙස් ලෑල්ල වෙත පැමිණෙද්දී ඔහු ඔරලෝසුවට අනුව මිනිත්තුවක් ප්‍රමාද වී තිබුනා. එහෙත් වහාම තරගයට අවතීර්ණ වනවා වෙනුවට කාල්සන් තමන්ගේ ඉත්තෝ පිළිවෙළට සකස් කරමින් තවත් කාලයක් ගතකළ අතර අවසානයේ ඔහු තමාගේ පළමු ඉත්තා අදින විට මිනිත්තුවක් හා තත්පර 12ක් පසුපසින් සිටියා.
එහෙත් මේ ලොව අංක එකේ ක්‍රීඩකයා ලෝකයේ 870 ට ශ්‍රේණිගතව සිටින 52 හැවිරිදි තම ප්‍රතිවාදියා පහසුවෙන් පරාජය කළේ ඉත්තො ඇදීමේ වාර 43කින්. කාල්සන් තවත් තත්පර 27ක් ඉතිරිව තිබියදී තරගය අවසන් කළා.
ඔහු පැළඳ සිටින්නේ අලුත් ඩෙනිම් කලිසමක් ද කියා තරගයෙන් පසුව නිල රූපවාහිනී නාලිකාව ප්‍රශ්න කළ විට ලෝක බ්ලිට්ස් ශූරතාව රැක ගනිමින් සිටි කාල්සන් මෙසේ පිළිතුරු දුන්නා.
“ඔව් මේක අලුත්. මම ඇත්තටම මේ කලිසම මිලදී ගත්තේ මේ තරගය වෙනුවෙන් ම යි. මම පරක්කු වෙච්ච එක හේතුවක් තමයි ඒක.”
පසුව පැවති අවසාන තරගයේ වට හතකින් පසුව කාල්සන්ගේ යෝජනාවකින් ඔහු සහ රුසියාවේ ඉයන් නිපුන්නිශි 2024 FIDE ලෝක බ්ලිට්ස් චෙස් ශූරතාවලියේ කිරුළ දෙදෙනා අතර බෙදා ගත්තා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






