ලෝකයේ ජීවත් වෙමින් සිටි වඩාත්ම වයස්ගත ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය වූ හංගේරියාවේ ඇග්නස් කැලති (Agnes Keleti) ඊයේ මිය ගියා. අභාවප්‍රාප්ත වන විට ඇගේ වයස අවුරුදු 103ක්.
පස් වතාවක් ඔලිම්පික් ජිම්නාස්ටික් ශූරිය වූ ඇය දෙවැනි ලෝක යුද සමයේදී යුදෙව් වධ හිංසනයෙන් නොමැරී ජීවත්ව සිටි කෙනෙක්.
බූඩපෑස්ට් අගනුවරදී Agnes Klein නමින් 1921 ජනවාරි 9 වැනිදා උපත ලැබූ කැලති 1938 වසරේදී හංගේරියාවේ ජාතික ජිම්නාස්ටික් සංගමයට බැඳීමෙන් පසුව 1940 වසරේ ඇගේ පළමු හංගේරියානු ශූරතාව දිනා ගත්තා. එහෙත් ඇයගේ යුදෙව් උරුමය හේතුවෙන් එම වසරේදී ඇයට සියලු ක්‍රීඩා ක්‍රියාකාරකම් තහනම් කෙරුනා.
“හංගේරියාව විසින් බිහිකළ ශ්‍රේෂ්ඨතම ජිම්නාස්ටික් ක්‍රීඩිකාව වන්නේ ඇග්නස් කැලති. නමුත් ඇගේ රටේ දේශපාලනය හා ඇයගේ ආගම විසින් ඇයගේ ජීවිතය සහ ක්‍රීඩා දිවිය වෙළාගත්තා” යනුවෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ප්‍රකාශ කළා.
ව්‍යාජ ලියකියවිලි සමග බූඩපෑස්ට් නගරයට දකුණෙන් පිහිටි ගම්මානයක සැඟවී සිටිමින් ඇය සිය දහස් ගණන් හංගේරියානු යුදෙව්වන් ඝාතනය කෙරුනු නාසි මරණ කඳවුරුවලට පිටුවහල් කිරීමෙන් ගැලවුනු බව හංගේරියානු ඔලිම්පික් කමිටුව පැවසුවා. ඇගේ පියා සහ ඥාතීන් කිහිප දෙනෙකුම Auschwitz සිර කඳවුරේ මිය ගියා.

කැලති ඇයගේ ප්‍රථම ඔලිම්පික් රන් පදක්කම දිනා ගත්තේ 1952 හෙල්සින්කි උළෙලේ. ඒ වන විට ඇගේ වයස අවුරුදු 31ක්. කැලති ඇගේ ක්‍රීඩා දිවියේ ඉහළටම පිවිසියේ 1956 මෙල්බර්න් ඔලිම්පික් ක්‍රීඩා තරග බිමේ. එහිදී රන් පදක්කම් හතරක් දිනා ගත් ඇය රන් දිනා ගත් වයසින් වැඩිම ජිම්නාස්ටික් ක්‍රීඩිකාව බවට ඉතිහාසගත වුනා. ඊට වසරකට පසුව ඇය ඊශ්‍රායලය ට ගිය අතර එහිදී විවාහ වූ ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක් වුනා.
රන් පදක්කම් පහ ද සමග ඔලිම්පික් පදක්කම් 10ක් දිනා ගැනීම නිසා ඇග්නස් කැලති එදා මෙදා තුර දෙවැනියට වඩාත්ම සාර්ථක හංගේරියානු ඔලිම්පික් ක්‍රීඩා චරිතය බවට පත්වුනා. ඇය හංගේරියානු රාජ්‍ය සම්මාන බොහොමයක් හිමිකර ගෙන සිටියා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






