නව යොවුන් වියේ පසුවන විස්මිත ක්‍රීඩක ලූක් ලිට්ල (Luke Littler) ඩාට්ස් ක්‍රීඩා ඉතිහාස පොතේ රන් අකුරින් ඔහුගේ නම සටහන් කරමින් වෘත්තීය ඩාට්ස් සංවිධානය (PDC) මෙහෙයවන ලෝක ශූරතාවලියේ ළාබාලතම ජයග්‍රාහකයා බවට ඊයේ පත්වුනා.
17 හැවිරිදි ලිට්ල ලෝක ශූරයා බවට පත්වූයේ තෙවතාවක් ලෝක ශූර 35 හැවිරිදි මයිකල් වෑන් ජර්වන් (Michael van Gerwen) ලන්ඩනයේ ඇලෙක්සැන්ඩ්‍රා පැලස් හි දී ඊයේ රාත්‍රියේ වට 7-3කින් පරාජය කරමින්.
මීට කළින් වෑන් ජර්වන් වයසින් අඩුම ඩාට්ස් ලෝක ශූරයා බවට පත්ව සිටියේ 24 වැනි වියේදී ඔහුගේ ලෝක ශූරතා තුනෙන් පළමුවැන්න 2014 වසරේදී දිනා ගනිමින්.
එහෙත් ඊයේ තරගය ආරම්භයේ සිටම ලිට්ල නොනැවැත්විය හැකි දස්කම් මට්ටමක සිටියේ කළින්ම වට 4-0කින් පෙරමුණට පිවිසෙමින්.

සිය 18 වැනි උපන්දිනයට තවත් සති තුනක් අඩුවෙන් තිබියදී ලබා ගත් මේ සුවිශේෂී ජයග්‍රහණයත් සමග ලිට්ල ට පවුම් 500,000ක ත්‍යාගය සහ සිඩ් වඩෙල් කුසලානය (Sid Waddell Trophy) හිමිවුනා.
පසුගිය වසරේ ලෝක ශූරතාවලියේ අවසාන තරගයේදී ලූක් හම්ෆ්‍රීස් (Luke Humphries) ට පරාජය වීම නිසා ලිට්ල ට අනුශූරයා ලෙසින් පමණක් සෑහීමට පත්වන්නට සිදුවුනා. එහෙත් එම ලෝක අංක 1 ක්‍රීඩකයා මෙවර තරගාවලියේ සිවුවැනි වටයෙන් ඉවතට විසිවීමෙන් පසුව කුසලානය ලිට්ල ට හිමිවන ලකුණු පහළ වී තිබුනා.
“මට මේක අදහා ගන්න බැහැ” යනුවෙන් ලිට්ල ළාබාලතම ලෝක ඩාට්ස් ශූරයා බවට ඉතිහාසගත වීමෙන් පසුව කියා සිටියා.
“මට වේගවත් ඇරඹුමක් අවශ්‍ය බව මම සම්මුඛ සාකච්ඡාවල කියා තිබුනා. අද රාත්‍රියේ මම කළේ එයයි.”
“මේ කුසලානය දිනා ගන්න හැම දෙනාම සිහින දකිනවා. ඒ සඳහා අසීරු තරග බිමක් පසුකළ යුතුයි. මට විශ්වාස කරන්න බැහැ” ලිට්ල වැඩිදුරටත් පැවසුවා.
මීට මාස 12කට පෙර ලෝක ශූරතා තරගාවලියේ අවසාන තරගයට පිවිසි ලූක් ලිට්ල විස්මය ජනක 2024 වසරක් භුක්ති වින්දේ ප්‍රිමිය ලීගය හා ග්‍රෑන්ඩ් ස්ලෑම් ඇතුළු PDC කිරුළු 10ක් nine-darters හපන්කම් හතරක් සමග දිනා ගනිමින්. ඔහු ඊයේ රාත්‍රියේ ඇලෙක්සැන්ඩ්‍රා මාලිගයේ ඇලී පැලී ඩාට්ස් වේදිකාවට රැගෙන ගියේ ඔහු සතුව තිබූ ඒ දක්ෂතාව.

(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






