අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ජිමී කාටර් ගනු ලැබූ ප්‍රධාන පෙලේ තීරණයකින් ක්‍රීඩකයන් සිය ගණනකට ඔවුන්ගේ ජීවිතවල
එක් වරක් පමණක් උදාවන ඔලිම්පික් කීර්තිය අත්කර ගැනීමේ මහඟු අවස්ථාවක් අහිමි වුනා.
කාටර් මිය යාමෙන් පසුව, ඔහුගේ 1977-1981 ජනාධිපති ධූර කාලයේ විශිෂ්ටතම විදෙස් ප්‍රතිපත්තියේ සාර්ථකත්වය සිට අසාර්ථකත්වය දක්වා විහිදුනු සිදුවීම් ආවර්ජනය කරන විට 1980 මොස්කව් ඔලිම්පික් ක්‍රීඩා උළෙල අමෙරිකාව වර්ජනය කිරීම ප්‍රධාන තැනක් ගන්නවා.

එම වර්ජනය කැඳවූයේ ජිමී කාටර්. එය, සෝවියට් දේශයේ ඇෆ්ගනිස්තාන ආක්‍රමණය පිළිබඳව අමෙරිකාවේ හෙළා දැකීම ප්‍රදර්ශනය කිරීම අරමුණ කර ගෙන දියත් කළ සීතල යුද්ධයේ බලගතු ක්‍රියාවක්. මේ ආක්‍රමණය දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ලෝක සාමයට බලපාන වඩාත්ම බරපතල තර්ජනයක් බව කාටර් ඔහුගේ 1980 අමෙරිකා එක්සත් ජනපද දේශනයේදී කියා සිටියා.
ක්‍රීඩකයන් මොස්කව් නුවරින් බැහැරව තබා ගැනීමේ නිල පියවර තැබූ නියෝජිතයන් 2,400 දෙනෙකුගෙන් සමන්විත අතිවිශාල අමෙරිකානු ඔලිම්පික් කමිටුවේ තුනෙන් දෙකකට වැඩි සහයෝගයක් මේ වර්ජනයට ලැබුනා. වැඩි කල් යන්නට මත්තෙන්, ඒ පියවර ක්‍රීඩාවට දේශපාලනය එන්නත් කිරීමෙන් ඇතිවන අවදානම, ව්‍යාකූලතාව හා අඩු සාර්ථකත්වය කියා දෙන පාඩම් පොතක උදාහරණයක් බවට පත්වුනා.
“අපට යන්න අවසර නොදුන්නේ එතරම් පැහැදිලි නැති හේතුවකට” යනුවෙන් 1976 සහ 1984 ඔලිම්පික් රන් පදක්කම් තරග ඇතුළත්ව 1977 සිට 1987 දක්වා වකවානුවේ එක දිගට තරග 122ක් ජයග්‍රහණය කළ කඩුලු පැනීමේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩක එඩ්වින් මෝසස් (Edwin Moses) පවසනවා.
| කඩුලු පැනීමේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩක එඩ්වින් මෝසස්
තම රටේදී ඔලිම්පික් ක්‍රීඩකයන් ලෙස හඳුන්වනු ලැබුව ද විදෙස් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් එවැනි අගැයීමකට ලක්නොවූ 1980 අමෙරිකානු ඔලිම්පික් කණ්ඩායමේ සාමාජිකයන් දශක ගණනාවක් යනතුරුම කතන්දර කීවේ ඔවුන්ට යාමට නොහැකි වූ මොස්කව් සංචාරය නිසා අහිමි වූ අවස්ථාවන් හා සැබෑ නොවුනු සිහින පිළිබඳව. 1980දී මේ කණ්ඩායමට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 474 දෙනාගෙන් 227 දෙනෙකුට ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තරග කිරීමට තවත් අවස්ථාවක් ලැබුනේ නැහැ.
ඒ වෙනුවට 1980 වර්ෂයේ ග්‍රීෂ්ම සෘතුවේ ධවල මන්දිරයේදී කාටර් මුණගැසීමට ලැබුනු උදාසීන අවස්ථාව පිළිබඳව බොහෝ ක්‍රීඩකයන් කතා කියනවා. වොෂිංටන් හි දී මේ ක්‍රීඩකයන්ට කොන්ග්‍රසයෙන් සිවිල් වැසියන්ට ලබා ගත හැකි ඉහළම ගෞරවය වන කොන්ග්‍රස් රන් පදක්කම පිරිනැමුනා. නමුත් ඒ පදක්කම් රන් ආලේප කරන ලද ලෝකඩ පදක්කම් පමණක් මිස නියම රත්තරං නෙවෙයි. ඊටත්, ඒවා කොන්ග්‍රස් වාර්තාවට ඇතුළත් කෙරුනේ එසේ කරන ලෙසට දශක තුනකට පසුව කෙරුනු බල කිරීම නිසා.
ඒ කාලයේ ඉසව් බොහොමයක ලෝක ශූරයාව සිටි පිහිනුම් ක්‍රීඩක ජෙසී වසල්ලො (Jesse Vassallo), ධවල මන්දිරයේ පේලියට සිටගෙන සිටිමින් කාටර් හමුවූ අවස්ථාව මෙසේ මෙනෙහි කරනවා.
| පිහිනුම් ක්‍රීඩක ජෙසී වසල්ලො
“කාටර් මට අතට අත දෙමින් ‘මොස්කව් ගියා නම් ඔබ කොහොම ක්‍රීඩා කරන්න තිබුනාද?’ කියා මගෙන් ඇහුවා. එතකොට මම කීවා, ‘මම රන් පදක්කම් දෙකක් සහ රිදී පදක්කමක් දිනන්න ඉඩ තිබුනා’ කියලා. එවිට ඔහු මා දෙස වේදනාවෙන් පිරුණු බැල්මක් හෙලුවා. ඊට පස්සේ ඔහු අනෙක් කිසිම ක්‍රීඩකයෙකුගෙන් ඒ ප්‍රශ්නය ඇහුවේ නැහැ.”
1984 අමෙරිකානු ඔලිම්පික් කණ්ඩායමේ ශූරයෙකු වූ මල්ලවපොර ක්‍රීඩක ජෙෆ් බ්ලැට්නික් (Jeff Blatnick) ට වසර ගණනාවකට පසුව කාටර්ව ගුවන් යානයකදී හමුවුනා. එහිදී බ්ලැට්නික් දෙස බැලූ කාටර්, “ඔබ 1980 හොකී කණ්ඩායමේ සිටියාද?” යනුවෙන් අසා තිබෙනවා. එවිට ඔහු, “නැහැ සර්, මම මල්ලවපොර ක්‍රීඩකයෙක්” කියා පිළිතුරු දී තිබෙනවා. එවිට කාටර්, “එහෙමද... එදා මම ගත්තේ නරක තීරණයක්. මම ඒ ගැන දුක්වනවා” යනුවෙන් පවසා තිබෙනවා.
| මල්ලවපොර ක්‍රීඩක ජෙෆ් බ්ලැට්නික්
ජිමී කාටර්ගේ වර්ජනයෙන් සෝවියට්වරු අධෛර්ය වුනේ නැහැ. ඔවුන්, තවදුරටත් ඔලිම්පික් ව්‍යාපාරය හා ඊට සිවු වසරකට පසුව අමෙරිකාව ට ලැබුනු ඔලිම්පික් සත්කාරක වාරය ද අවුල් කරමින් තවත් වසර නවයක් ඇෆ්ගනිස්තානයේ රැඳී සිටියා. වසර හතරකට පෙර අමෙරිකාව මොස්කව් නුවරට කළ දේට පළිගැනීමක් වශයෙන් සෝවියට් දේශය සහ නැගෙනහිර කඳවුරේ තවත් රටවල් 13ක් ඉන් සිවු වසරකට පසුව 1984දී ලොස් ඇන්ජලීස් නුවර පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙල වර්ජනය කළා.
ජිමී කාටර්ගේ ඒ තීරණාත්මක තීන්දුවෙන් වසර 44කට පසුව අදත් ඔලිම්පික් ව්‍යාපාරය එදා මෙන්ම හැම අතින්ම දේශපාලනකරණය වී තිබෙනවා. ඊට අමතරව පසුගිය වසර කිහිපයේදී, තවත් රුසියානු ආක්‍රමණයක්, මෙවර අසල්වැසි යුක්රේනය ආක්‍රමණය කිරීම හමුවේ ජාත්‍යන්තර ක්‍රීඩාවේ රුසියාවේ ස්ථානය සම්බන්ධයෙන් ලෝකය පොර බදමින් සිටිනවා.
ඒ යුද්ධය විසඳා ගන්නා ආකාරය ඔලිම්පික් ක්‍රීඩා උළෙල 2028 වසරේදී නැවත වරක් ලොස් ඇන්ජලීස් නුවරට පැමිණෙන විට රුසියාවේ කාර්යභාරය නිර්වචනය කිරීමට උපකාරයක් වේවි.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






