leader s

ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලාංකිකයෙක් ටේබල් ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල වයස අවුරුදු 11න් පහළ බාලක අංශයේ ලොව අංක 11 ස්ථානයට පිවිස සිටිනවා.
 
මීට අමතරව, ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ ටාවි සමරවීර නමැති මේ නැගී එන ටේබල් ටෙනිස් තරුව වයස අවුරුදු 13න් පහළ බාලක අංශයේ ලොව අංක 67 ස්ථානය ද හිමිකර ගෙන සිටිනවා.
 
අවුරුදු 11න් පහළ බාලක අංශයේ 2025 වසරේ ශ්‍රී ලංකා ජාතික අංක 1 ට ශ්‍රේණිගතව සිටින ටාවිගේ වයස තවම අවුරුදු නවය යි. ටාවිගේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ඔහුගේ පියා වීම තවත් විශේෂත්වයක්.
ටාවි ඉදිරියට මෙහෙයවමින් ඔහුගේ දියුණුවේ බලවේගය බවට පත්ව සිටින හසිත සමරවීර සාර්ථක ජාත්‍යන්තර ටේබල් ටෙනිස් පුහුණුකරුවෙක්. ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ ශ්‍රී ලංකා ජාතික ශූරයන් බිහිකිරීමේ දස වසරක පළපුරුද්දක් තිබෙන ඔහු විවිධ රටවල ජාත්‍යන්තර ක්‍රීඩකයන් සමග කටයුතු කර තිබෙන්නේ සිය නවෝත්පාදන පුහුණු කිරීමේ තාක්ෂණය හා ගෝලීය කෘතහස්ත භාවය වෙනුවෙන් කීර්තියක් අත්කර ගනිමින්.

ටාවි ඔහුගේ ටේබල් ටෙනිස් ගමන පියාගේ නිවැරදි මඟ පෙන්වීම යටතේ ආරම්භ කළේ යන්තම් වයස අවුරුදු හතරේදී. ටාවිගේ සහජ කුසලතා, විනය හා තරගකාරී සිතිවිලි රටාව මනාව හැඩ ගන්වමින් ඔහුගේ දියුණුවට ශක්තිමත් අඩිතාලමක් ඔහුගේ පියා විසින් දමනු ලැබුවේ ඔහුට තිබෙන පුහුණු කිරීමේ මහා පළපුරුද්ද උපයෝගී කර ගනිමින්.
 
වයස අවුරුදු හයේදී සමස්ත ලංකා ආධුනික අවුරුදු 9න් පහළ අංශයේ ක්‍රීඩා කරමින් ටාවි තෙවැනි ස්ථානයට පත්වූයේ තමන්ට වඩා වයසැති ක්‍රීඩකයන්ට එරෙහිව තරග කරමින්. අට වැනි වියේ පසුවෙමින් සිටියදී සමස්ත ලංකා ආධුනික ශූරතාවලියේ අවුරුදු 9න් පහළ, 11න් පහළ හා 13න් පහළ වයස් කාණ්ඩවල ශූරතා දිනා ගත් ටාවි අවුරුදු 11න් පහළ බාලක ජාතික ශ්‍රේණිගත කිරීමේ ඉහළම 10 දෙනා අතරට ඇතුළු වීමට සමත් වුනා.
ජාතික ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක අවුරුදු 11න් පහළ අංශයේ අවසාන තරගයට නව වැනි වියේදී ටාවි සුදුසුකම් ලැබුවේ ජාතික අංක 1 ට ශ්‍රේණිගතව සිටි ක්‍රීඩකයා පරදවමින්. මීට අමතරව ඔහු ජාතික කණිෂ්ඨ ශූරතාවලියේදී අවුරුදු 11න් පහළ බාලක අංශයේ තෙවැනි ස්ථානය හිමිකර ගත්තේ 2025 වසර සඳහා වන ශ්‍රී ලංකාවේ අවුරුදු 11න් පහළ ශ්‍රේණිගත කිරීම්වල මුදුනට පිවිසෙමින්.

තම පියාගේ විශාරද පුහුණුව යටතේ ටාවි ලොව වටා සිටින දක්ෂතම ක්‍රීඩකයන් සමග තරග කරමින් ජාත්‍යන්තර වේදිකාවේ ද සැලකිය යුතු දස්කම් ප්‍රදර්ශනය කර තිබෙනවා.

2024 ජනවාරියේ කටාර්, තුර්කිය හා අන්ටාලියා හි පැවති ලෝක යොවුන් තරගකරු ඉසව්වලට ප්‍රථම වතාවට පෙනී සිටි ටාවි ට එම වසරේ මාර්තු මාසයේ ලෙබනනයේ පැවැති ලෝක යොවුන් තරගකරු ශූරතාවලියේ අවුරුදු 11න් පහළ අංශයේ ඉහළම ක්‍රීඩකයන් 8 දෙනා අතරට පිවිසීමට හැකිවුනා.
 
2024 වසරේ ඩුබායි හි දී ලෝක ටේබල් ටෙනිස් තරුණ තරගකරු ශුරතාවලියේ අවුරුදු 11න් පහළ වයස් කාණ්ඩයේ ඉහළම ක්‍රීඩකයන් 8 දෙනා අතරට ටාවි ඇතුළත් වූයේ ලොව අංක 10 ට ශ්‍රේණිගතව සිටි ක්‍රීඩකයා සහ හිටපු ලෝක යොවුන් අවසන් තරග ක්‍රීඩකයෙක් පරාජය කරමින්. මේ දක්ෂතාවට අමතරව ටාවි අවුරුදු 13න් පහළ අංශයේ ඉහළම ක්‍රීඩකයන් 16 දෙනාගෙන් කෙනෙකු වීමට ද සමත් වුනා.
Taavi 3
 
2024 යුරෝපීය තරගමාලාවේදී මේ පුංචි හපනා ස්ලොවේකියාව, හංගේරියාව හා ඉතාලියේ තරග කරමින් අවුරුදු 11 අංශයේ ඉහළම අට දෙනාට පිවිසීමට අමතරව අවුරුදු 13න් පහළ වයස් කාණ්ඩයේ ද 32 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තා.

මේ සියලු තරගාවලියන් මුළුල්ලේ ටාවි ඔහුගේ සුවිශේෂී දක්ෂතා ප්‍රදර්ශනය කළේ ඔස්ට්‍රේලියානු ශූරයා ද ඇතුළුව වයස අවුරුදු 11න් පහළ අංශයේ පෙරමුණේ සිටින ආසියානු හා යුරෝපීය ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් අභිබවා යමින්.

ගෝලීය ටේබල් ටෙනිස් ක්‍රීඩාවේ උසස් ම තලයේ පෙලහර පාමින් සිටින ටාවිගේ 2024 වසරේ කැපවීම හා වෙහෙසකාරී කාර්යය ඔහුට ඉහළම ලෝක ශ්‍රේණිය වන අවුරුදු 11න් පහළ බාලක අංක 23 තත්ත්වය ලබා දුන්නා. එය ඔහු මේ 2025 නව වසර ආරම්භයේදී ම 11 වැනි ශ්‍රේණිය දක්වා ඉදිරියට ගෙන ආවේ තවමත් වයස අවුරුදු නවයේ පසුවන්නෙකුගේ විස්මය ජනක හපන්කම් ලෝකයට පෙන්වමින්.

ටාවිගේ ගමන් මගේ ශක්තිය වී සිටින පියා හසිත 2024 දකුණු ආසියානු යෞවන ශූරතාවලියේදී ශ්‍රී ලංකා ජාතික යොවුන් බාලක කණ්ඩායමේ පුහුණුකරුවා වූ අතර එහිදී ඔහු කණ්ඩායම ශ්‍රී ලංකාවේ එදා මෙදා තුර පළමු යොවුන් දකුණු ආසියානු රන් පදක්කම කරා ගෙන ගියා. වර්තමානයේ ඔහු ඉන්දියාව, ඔස්ට්‍රේලියාව හා කැනඩාවේ ජාතික තරුණ ක්‍රීඩකයන්ට උපදෙස් දෙමින් හා ඔවුන් පුහුණු කරමින් සිටින්නේ එම ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර ලෝක යොවුන් ඉසව්වලට මං විවර කර දෙමින්.
 
ඔහුගේ පුත් ටාවි ට තිබෙන ඉලක්කයන්ට ලෝක ශ්‍රේණිගත කිරීමේ ඉහළම 4 දෙනා අතරට පිවිසීම හා වයස අවුරුදු 11න් පහළ ලෝක ශූරයා බවට පත්වීම ඇතුළත්. කවදා හෝ දිනයෙක ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කිරීම ඔහුගේ අවසන් සිහිනය යි. පුංචි ටාවි සමරවීර ඒ ඉලක්කය මහත් ශක්තියෙන් යුතුව හඹා යන්‌නේ සිය පුහුණුකරු වන ආදරණීය පියාණන් පසෙකින් තබාගෙන.
 
warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්