නට්සීන්ගේ යුදෙව් ඝාතන සමයේ සිරකඳවුරුවල වසර දෙකකට ආසන්න කාලයක් නොමැරී ජීවත් වෙමින් පසුගිය වසරේ පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ඔලිම්පික් පහන රැගෙන ගොස් ඔලිම්පික් පහන ගෙන ගිය ලොව වයස්ගතම පුද්ගලයා බවට පත්වූ රොජ ලිබ්රැන්චු (Roger Lebranchu) වයස අවුරුදු 102දී මිය ගියා.
1948 ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සිවුවැනි ස්ථානය හිමිකර ගත් ප්‍රංශ ඔරු පැදීමේ කණ්ඩායමේ ක්‍රීඩකයන් අට දෙනාගෙන් කෙනෙකි ලිබ්රැන්චු. ජාතික ක්‍රීඩක අට දෙනාගේ දෙවතාවක ශූරයෙකු ද වන ඔහු සිය පළමු කිරුළ 1946 වසරේ දිනා ගත්තේ ඔහුගේ සහෝදරයන් දෙදෙනා ද පැත්තකින් තබා ගෙන ඔරු පදිමින්.
1943 වසරේදී චාල්ස් ඩි ගෝල් ජනරාල්වරයාගේ නිදහස් ප්‍රංශ හමුදාවට බැඳීම පිණිස උතුරු අප්‍රිකාව ට පලා යාමට උත්සාහ කරමින් සිටියදී ලිබ්රැන්චු අත්අඩංගුවට පත්වුනා. ජර්මනිය ට බලෙන් යැවුනු කම්කරුවෙකු බවට පත්වීම ප්‍රතික්ෂේප කළ නිසා ඔහු නාසි බලධාරීන්ගේ ඉලක්කයක් බවට පත්ව සිටියා.
“මට ජර්මනියට යන්න උවමනා වුනේ නැහැ. මට ඔ්න කළේ ඔවුන් සමග සටන් කරන්නයි” ලැබ්රැන්චු 2023 වසරේදී පවසා තිබුනා.
බූහෙන්වෝල්ඩ් (Buchenwald) සිරකඳවුරට ප්‍රවාහනය කරමින් සිටියදී ලෙබ්රැන්චු ට ඔහුගේ පියා මොහොතකට ඇස ගැසුනා. සිරකරුවන් නිහඬ කිරීමට නාසි හමුදාවන් උත්සාහ කරමින් සිටියදීත්, දෙදෙනා “පසුව හමුවෙමු” යන වචන හොර රහසේ හුවමාරු කර ගැනීමට සමත් වුනා.

1945 වසරේ අප්‍රේල් මාසයේ යුද්ධයේ අවසානය ළංවෙමින් තිබියදී, නාසින් විසින් මරණයට දක්කාගෙන යමින් සිටි සිරකරු පෙළපාළියකින් පලා ගිය ලැබ්රැන්චුව අමෙරිකානු හමුදාවන් විසින් පසුව බේරාගෙන තිබුණා.
“මම ප්‍රංශයේ විමුක්තිය වෙනුවෙන් සටන් කළා. ඊට පස්සෙ ක්‍රීඩාවේදී මම ප්‍රංශය වෙනුවෙන් සටන් කළා” යනුවෙන් ලැබ්රැන්චු 2023 වසරේදී BFM රූපවාහිනියට කියා තිබුනා.

2024 වසරේදී ඔලිම්පික් පහන රැගෙන යාමට ලැබුනු වටිනා අවස්ථාව ආවර්ජනය කරමින් ලැබ්රැන්චු “එය විශිෂ්ට ගෞරවයක්” ලෙස විස්තර කර තිබුනේ “මම සාමය ගෙන එනවා” යනුවෙන් හද සසල කරවන ප්‍රකාශයක් ද එක් කරමින්.
(සටහන | වර්නන් ගුණසේකර)ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






