2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී එංගලන්තයේ තුන්ප්‍රයාම සුපිරි තරුව වන 26 හැවිරිදි ඇලෙක්ස් යී (Alex Yee) ඔහුගේ ලොකුම ප්‍රතිවාදියා වන
නවසිලන්තයේ හේඩන් වයිල්ඩ් (Hayden Wilde) පරාජය කිරීමෙන් පසුව ඔලිම්පික් ශූරයා ලෙස පැරිසියේදී කිරුළ පැළඳුවා.
තියුණු මුහුණුවරක් ගත් තුන්ප්‍රයාම තරගයේ දිවීමේ ඉසව්වේ තවත් කිලෝමීටර් 2.5ක දුරක් ඉතිරිව තත්පර 14ක් පිටුපසින් සිටි ඇලෙක්ස් අවසානයේ වයිල්ඩ් අභිබවා යමින් ජයග්‍රහණය අත්කර ගත්තේ ඔලිම්පික් ඉතිහාසයේ වැඩිම තුන්ප්‍රයාම පදක්කම්ලාභියා බවට පත්වෙමින්.

එහෙත් ඉන්පසුව පදක්කම් පිරිනමන කුඩා වේදිකාවේ සිදුවු පටලැවිල්ලක් හේතුවෙන් පදක්කම් ප්‍රදානෝත්සවයේදී ඇලෙක්ස් ට ඔහු බලාපොරොත්තු වූ දෙය හරියටම ලැබුනේ නැහැ.
කෙසේ වෙතත් මේ ලෝක ශූරයාගේ වාසනාවට ඔහුට සහ වයිල්ඩ් ට පිරිනැමුනු නියම පදක්කම් ඒ පටලැවිල්ලට ඇතුළත්ව තිබුනේ නැහැ.
පදක්කම් පිරිනමන කුඩා වේදිකාවේදී ක්‍රීඩකයන්ට ඔවුන් දිනා ගත් පදක්කම් අනුව රන්, රිදී හෝ ලෝකඩින් විස්තරයක් සහිත ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ නිල පත්‍රිකාවේ විශේෂ මුද්‍රණයක් අඩංගු පටු පෙට්ටියක් ද ලැබෙනවා.
එකම ප්‍රශ්නය වූයේ, ඇලෙක්ස් ට වැරදි පෙට්ටිය ලබා දීම. මේ හේතුවෙන් ඔහුට රිදී පෙට්ටිය ලැබුනු අතර වයිල්ඩ් ට රන් ලැබුණා.
“අපි තවමත් ඒවා මාරුකර ගත්තේ නැහැ. නමුත් සත්තකින්ම අපි එය කළ යුතුයි” ඇලෙක්ස් ප්‍රකාශ කරනවා.
පැරිසියානු චිත්‍ර ශිල්පියෙකු වන Ugo Gattoni විසින් නිර්මාණය කරන ලද මේ පත්‍රිකාව සම්පූර්ණ කිරීම සඳහා පැය 2,000කට වැඩි කාලයක් සහ මාස පහක් ගතව තිබෙනවා.
මෙහි පක්ෂියෙකුගේ ඇසින් දකින දර්ශනයකින් නිරූපණය වන්නේ ජය ඝෝෂා නගන සෙනඟක් වටකර ගෙන ක්‍රීඩකයන් තරග කරන අයුරු සහ XXXIII Olympiade යන සලකුණක් ඇතුළු විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පය.
ඇලෙක්ස් සතුව පැරිසියෙන් ගෙන ආ තවත් බොහෝ සිහිවටන තිබෙනවා. ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ඔහු භාවිතා කළ බයිසිකලයේ රාමුව ඔහුගේ ගරාජයේ තිබෙන අතර අයිෆල් කුළුනේ කුඩා ආකෘතියක් ඔහුගේ මුළුතැන්ගෙයි රාක්කය මත තබා තිබෙනවා.
2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මිශ්‍ර සහාය ඉසව්වේ දිනා ගත් රන් පදක්කම හා කේවල ඉසව්වේ හිමිකර ගත් රිදී පදක්කම සමග පැරිසියේදී මිශ්‍ර සහාය ඉසව්වෙන් ලබා ගත් ලෝකඩ පදක්කම ද සමග ඇලෙක්ස් යී සතුව තිබෙන්නේ සැලකිය යුතු තරමේ පදක්කම් එකතුවක්.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






