ඔස්ට්‍රේලියාව ගාල්ලේදී ශ්‍රී ලංකාව ට එරෙහිව පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමක් හා ලකුණු 242කින් ඊයේ ජය ගත්තේ
දැවැන්ත ඉන්දියානු වාර්තාවක් ද මකා දමමින්.
‘තරගයේ වීරයා’ උස්මාන් කවාජා ද්විත්ව ශතකයක් (232)ක් ලබා ගත් අතර ස්ටීව් ස්මිත් (141) හා ප්‍රථම වරට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කළ ජොෂ් ඉන්ග්ලිස් (102) ශතක වාර්තා කළා.
| මැතිව් කුනෙමෑන්
ශ්‍රී ලංකාව එකම දිනයේ දෙවතාවක් දවාලීමට ඔස්ට්‍රේලියාව ට උපකාරී වෙමින් මැතිව් කුනෙමෑන් (Matthew Kuhnemann) කඩුලු 9ක් බිඳ හෙලුවා. ‘බිග් බෑෂ් ලීගයේ’දී මහපට ඇඟිල්ල බිඳී යාමෙන් පසුව මේ පන්දු යවන්නා ශල්‍ය කර්මයකට බඳුන්ව තවමත් සති තුනක් හෝ සම්පූර්ණ වී නැහැ.
වර්ෂාවෙන් බාධා පැමිණි තරගයේ තීරණාත්මක සිවුවැනි දිනයේදී ශ්‍රී ලංකාවේ කඩුලු 15ක් ම ලකුණු 276කට බිඳ වැටුනේ ඕවර 64.5ක් ඇතුළත.

ඔස්ට්‍රේලියාව වාර්තා කළ කඩුලු 6 ට ලකුණු 654 ට පිළිතුරු වශයෙන් පළමු ඉනිමේ ලකුණු 165කට දැවී ගිය ශ්‍රී ලංකාව ට දෙවැනි ඉනිමේ රැස් කිරීමට හැකිවූයේ ලකුණු 247ක් පමණයි.
මෙය ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ලැබූ විශාලතම ඉනිමක පරාජය යි. මීට පෙර ශ්‍රී ලංකාව ඔවුන්ගේ විශාලතම ඉනිමක පරාජය ලැබුවේ ඉන්දියාව වෙතින්.
2017 වසරේ නාග්පූර් හි පැවති තරගයේදී ඉන්දියාව ඉනිමක් හා ලකුණු 239කින් ශ්‍රී ලංකාව පරාජය කළා.

එම තරගයේදී විරාට් කෝලි ද්විත්ව ශතකයක් වාර්තා කළ අතර රෝහිත් ෂර්මා, චෙටෙෂ්වෝ පුජාරා සහ මුරලි විජේ ශතක ලබා ගත්තා.
ගාල්ලේ පැවති පළමු ටෙස්ට් ගැටුම සිවුවැනි දිනයේ සවස තේ පානයටත් පෙර අවසන් වුණා. වමතින් දඟ පන්දු යවන නවක ක්‍රීඩක කුනෙමෑන් ජයග්‍රාහී පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 149කට කඩුලු 9ක් ලබා ගැනීමට සමත් වුණා.
ලකුණු 136කට කඩුලු 5ක් අහිමිව සිට සෙනසුරාදා තරගය ආරම්භ කළ ශ්‍රී ලංකාව ලකුණු 165කට දැවී ගියේ ඔවුන්ගේ අවසන් කඩුලු පහ ලකුණු නවයකට බිඳ වැටෙමින්.

එසැණින් නැවත පන්දුවට පහර දීමට සිදුවූ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 489ක ඉලක්කයක් හමුවේ කඩුලු තුනක් දිවා ආහාරයට පෙර අහිමි වුණා. ඉක්බිති දෙවැනි වරුවේ ක්‍රීඩාවේදී ශ්‍රී ලංකාව ට යටත් වීමට සිදුවූයේ ලජ්ජාශීලී අවසානයක් දකිමින්.
මෙය ආසියාවේදී ඔස්ට්‍රේලියාව ලැබූ විශාලතම ටෙස්ට් ජයග්‍රහණය හා සමස්ත ටෙස්ට් තරගවල ඔවුන්ගේ සිවු වැනියට ලොකුම ජයග්‍රහණයයි. මීට පෙර කැන්ගරුවන්ගේ විශාලතම ආසියානු ජයග්‍රහණය ලෙස වාර්තා වී තිබුණේ 2002 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පාකිස්තානය ඉනිමක් හා ලකුණු 198කින් පරාජය කිරීම.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






