දහස් සංඛ්‍යාත සැන්ටොස් ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රීති ඝෝෂා මැද නේමාගේ (Neymar) ළමා කාලයේ ක්‍රීඩා සමාජය සිකුරාදා ඔහුව නැවත වරක්
සාදරයෙන් පිළිගන්නා විට මේ බ්‍රසීල සුපිරි පාපන්දු තරුව සිටියේ කඳුළු සලමින්.
සැන්ටොස් ක්‍රීඩා සමාජයේ Vila Belmiro ක්‍රීඩාංගණයේ පැවති ප්‍රසංගයට ඉහළින් සවිකර තිබූ විද්‍යුත් සඳහනක මෙසේ දර්ශනය වී තිබුණා.
“කුමාරයා ආයෙත් ඇවිත්!”

මේ ඉදිරිපෙල ක්‍රීඩකයා සැන්ටොස් (Santos) සමග මාස හයක කොන්ත්‍රාත්තුවකට අත්සන් කර තිබෙන බව වාර්තා වනවා.
32 හැවිරිදි නේමාගේ නැවත සම්ප්‍රාප්තිය සැමරීම පිණිස වර්ෂාව නොතකමින් 20,000ක පමණ ක්‍රීඩා ලෝලීන් පිරිසක් බ්‍රසීලයේ සාඕ පාලෝ (Sao Paulo) නගරයට පිටතින් පිහිටි ක්‍රීඩාංගණයට රොක්ව සිටියා.
දේශීය ගායක ගායිකාවන් ද සහභාගි වූ පැය තුනක උත්සවය අවසන් වූයේ ගිනිකෙළි සංදර්ශනයකින්.
“මට හරිම සතුටුයි. අපි විශිෂ්ට කාලයක් මෙහි ගතකළා. එවැනි තවත් බොහෝ සතුටින් පිරෙන කාලයක් යළි පැමිණීමට ඉඩ තිබෙනවා” යනුවෙන් නේමා පිට්ටනියේදී කියා සිටියා.

ඊට මොහොතකට පෙර ඔහු, සැන්ටොස් පුහුණු පිටියේදී සිය අනාගත කණ්ඩායම් සගයන් හා ක්‍රීඩා සමාජයේ විධායක නිලධාරීන් හමුවුණා.
සෞදි අරාබියේ සිට පැමිණි නේමාගේ පෞද්ගලික ජෙට් යානය සාඕ පාලෝ ප්‍රාන්තයේ ගම්බද පෙදෙසේ ගොඩබැසීම සිදුවූයේ සිකුරාදා උදේ කාලෙයේ වූව ද, හෙලිකොප්ටරයකින් තමාව සැන්ටොස් බලා පියාසර කරවීමට පෙර පැය කිහිපයක විවේකයක් ලබා දෙන ලෙසට ඔහු ඉල්ලා සිටියා.
“කුමාරයා ආයෙත් ඇවිත්” යනුවෙන් සඳහන් බැනර් අලෙවි කෙරුනේ ඩොලර් 1.50කට (10 reais).
ක්‍රීඩාංගණයට පිටතින් ප්‍රදර්ශනය වූ කෘතිම බුද්ධිය විසින් නිර්මාණය කරන ලද කුරුටු චිත්‍රවලින් දැක්වුනේ ඔටුනු පැළඳ ගත් වඩාත් පරිණත වූ නේමා කෙනෙක්. මෙය, වයස අවුරුදු 82ක්ව සිටියදී 2022 දෙසැම්බර් මාසයේ මිය යනතුරු දශක ගණනාවක් තිස්සේ පේලේ රජකම් කළ නගරයක මීට පෙර කොහෙත්ම නුදුටු දසුනක්.

සැන්ටොස් ක්‍රීඩා සමාජය විසින් සමාජ මාධ්‍යයේ පළ කරන ලද වීඩියෝවකින් දිස්වූයේ එම කණ්ඩායම සමග වසර 2009 සිට 2013 දක්වා වූ සිය පළමු ක්‍රීඩා දිවියේදී අංක 11 සහිත කමිසය පැළඳ සිටි නේමා නෙවෙයි. මේ ක්‍රීඩා සමාජය සමග නේමාගේ දෙවැනි ක්‍රීඩා කාලය තුළ ඔහු පළඳිනු ඇත්තේ ලෝක පූජිත පේලේගේ ජනප්‍රිය අංක 10 මුද්‍රණය කෙරුනු කමිසය.
“මේ පූජනීය ජර්සිය ඇඳීම මට මහත් ගෞරවයක්” යනුවෙන් නේමා එම වීඩියෝවෙන් කියා සිටිනවා.
සෞදි අරාබියේ වෘත්තීය පාපන්දු ලීගයේ ආබාධවලින් පිරුණු මාස 18ක කාලයක් තුළ තරග හතකට පමණක් සහභාගි වී එකම එක ගෝලයක් පමණක් ලබා ගැනීමෙන් පසුව නේමා ඔහු ක්‍රීඩා කළ ‘අල් හිලාල්’ පාපන්දු සමාජයෙන් සමුගත්තා.
නේමා නැවත බඳවා ගැනීමට සැන්ටොස් ක්‍රීඩා සමාජය බලා සිටියේ ඉතාමත් ආශාවෙන්. ඒ සඳහා ඔහු කැමති කරවා ගැනීම පිණිස ඔවුන් එම ක්‍රීඩා සමාජයේ පුරාවෘත්තය වන පේලේගේ කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ කටහඬ සහිත වීඩියෝවක් භාවිතා කළ බව වාර්තා වනවා.
නේමා ඔහුගේ වෘත්තීය ක්‍රීඩා දිවිය සැන්ටොස් සමග ආරම්භ කළේ 2009 වසරේ. ඉන්පසු ඔහු ලෝක පාපන්දුවේ එක් දීප්තිමත් තරුණ ක්‍රීඩකයෙකු බවට පත්වුනේ එම කණ්ඩායම 2011 වසරේදී Copa Libertadores යන දකුණු අමෙරිකානු අන්තර් සමාජ පාපන්දුවේ ඉහළම තලයේ තරගාවලියේ ජයග්‍රහණය කරා ගෙන යමින්.
| 2011 වසරේදී Copa Libertadores තරගාවලියේ ජයග්‍රහණය සමරමින්....
2013 වසරේදී සැන්ටොස් ක්‍රීඩා සමාජයෙන් ඉවත්ව 21 හැවිරිදි නේමා බාසිලෝනා කණ්ඩායමට යන විට තරග 225කින් ගෝල් 136ක් ලබා ගෙන, වඩාත්ම අලංකාර ගෝලය සඳහා පිරිනැමෙන Puskas සම්මානය ද හිමිකර ගෙන එම වසරේ ම Ballon d’Or සම්මානයේ ඉහළම 10 දෙනාට ඇතුළත්ව සිටියා.

නමුත් නේමා ඇත්තෙන්ම සැන්ටොස් ක්‍රීඩා සමාජය වෙත යළි ගෙන එනු ඇත්තේ කුමක්ද යන ප්‍රශ්නය මතුව තිබෙනවා. පාපන්දුව සමග ඔහුට තිබෙන සම්බන්ධතාව සමග ඔහු දැන් සිටින්නේ කොතැනද කියා සැවොම දන්නවා.
මේ සබඳතාව නේමාගේ ක්‍රීඩා දිවිය පුරා හැම තැන ම විකසනය වී තිබෙන්නේ ‘කවරදාකවත් රජ නොවූ කුමාරයා’ යන කීර්තිය ඔහුට අත්කර දෙමින්.
බ්‍රසීලය වෙනුවෙන් තරග 128කට ක්‍රීඩා කර ඇති නේමා වාර්තාගත ගෝල් 79ක් ලබා ගත්තේ පේලේ ට වඩා ගෝල් දෙකක් වැඩියෙන් සටහන් කරමින්. බ්‍රසීලයේ රියෝ ඩ ජනේරෝ නගරයේ පැවති 2016 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනා ගත් බ්‍රසීල පාපන්දු කණ්ඩායමේ නේමා ද සාමාජිකයෙක්.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
සබැඳි ලිපියක් :
පාපන්දු ඉතිහාසයේ වඩාත්ම මිල අධික නේමාගේ ගෝලය






