සෑම ලකුණක්, කඩුල්ලක් හා සුවිශේෂ දක්ෂතා මොහොතක් ඉතිහාසයට නිරේඛණය කෙරෙන ක්රිකට් ලෝකය තුළ එම ක්රීඩාවේ නිහඬ ආරක්ෂකයෙක් සිටිනවා. ඒ, ලකුණු සටහන්කරුවා යි.
ක්රීඩකයන් ප්රධාන වේදිකාවේ සිටිය ද, ක්රිකට් ක්රීඩාවේ ලෙගසිය අමතක නොවන්නක් බවට පත්කරමින් තරගයේ යවන සෑම පන්දුවක් හා ඊට එල්ල කරන සෑම පහරක් ම නිවැරදිව වාර්තා වීම සිදුවන බව සහතික කරන්නේ ලකුණු සටහන්කරුවා යි.
ගාල්ල ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදී හෙට (6) ආරම්භ වන දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගයේදී සැමරෙන්නේ අපූර්ව වැදගත් අවස්ථාවක්. ඒ, තුෂාර කුරේ නමැති මහත් කැපවීමෙන් සිය කාර්යය ඉටු කරන ලකුණු සටහන්කරුවා ටෙස්ට් තරග 100ක් සම්පූර්ණ කිරීම. ඔහුගේ දැඩි උද්යෝගය, වගකීමෙන් කැපවීම හා විස්තරවලට අතිශය ලෙස අවධානය යොමුකිරීම මගින් ශ්රී ලාංකේය ක්රිකට් ක්රීඩාවට නොමැකෙන සලකුණක් දමා තිබෙනවා.
1987 වසරේ අප්රේල් මස 16 සිට 21 දක්වා කොළඹ සී.සී.සී. ක්රීඩාංගණයේ ශ්රී ලංකාව හා නවසිලන්තය අතර පැවති ටෙස්ට් තරගයේ කැලඹෙනසුලු පළමු පෑන් පහරේ සිට 2025 වසරේ පෙබරවාරි මස 6 සිට 10 දක්වා ගාල්ල ක්රිකට් ක්රීඩාංගණයේ ශ්රී ලංකාව හා ඔස්ට්රේලියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගයේ ප්රවීණ ඩිජිටල් ලකුණු සටහන් දක්වා වන තුෂාරගේ චාරිකාව ප්රත්යස්ථිතිය, ඉවසීම හා ක්රිකට් ක්රීඩාවට තිබෙන නොමියෙන ආදරය ප්රදර්ශනය කරන්නක්. වර්ෂාවෙන් සිදුවන බාධාවන්, තියුණු මුහුණුවරක් ගත් අන්තිම ඕවර ජයග්රහණ හා අමතක නොවන ශතක හරහා මේ ලකුණු සටහන්කරුවා ඔහු ලියන සෑම ඉලක්කමක් ම පිළිවෙලින් ඉතිහාසයේ සටහන් කරමින් නොපෙනන කතාකාරයා බවට පත්ව සිටිනවා.
තුෂාර කුරේගේ සෑම ලකුණු සටහන් පොතක් පිටුපස තිබෙන්නේ වසර ගණනාවක කැපවීම, මාධ්ය කුටියේ ලකුණු සටහන්කරුගේ මේසයේ ගතකළ නිමක් නැති පැය ගණන, දැඩි අවධානය සහ නිරවද්යතාව සඳහා නොසැලෙන පේවීම. ක්රිකට් ලකුණු සටහන්කරුවෙක් කරන්නේ ලකුණු හා කඩුලු වාර්තාගත කිරීම පමණක් නෙවෙයි. ඔවුන් එම අවස්ථාවන් ආරක්ෂා කරන්නේ සෑම ක්රිකට් ක්රීඩකයෙකුගේ ම ක්රියාවන් ගෞරවයට ලක්වීම සහ සෑම ක්රීඩා ලෝලියෙකුගේ ම මතකයන් ප්රාණවත්ව පැවතීම සහතික කරමින්.
ගාල්ල ක්රීඩාංගණයේ මාධ්ය කුටියට හෙට පැමිණ තමන්ගේ 100 වැනි ටෙස්ට් ක්රිකට් තරගයේ ලකුණු සටහන් කරන තුෂාර කුරේ, පරිගණක ක්රිකට් මෘදුකාංගයක් මගින් ලකුණු සටහන් කරන ශ්රී ලංකාවේ එකම ලකුණු සටහන්කරුවා හා සංඛ්යානඥයා යි.
57 වැනි වියේ පසුවන තුෂාර ටෙස්ට් ක්රිකට් තරගවල ලකුණු සටහන් කිරීම 1987 වසරේදී ආරම්භ කළේ 20 වැනි වියේ පසුවෙමින් සිටියදී. ටෙස්ට් ලකුණු සටහන්කරුවෙකු ලෙස ශතකයේ සංධිස්ථානය දක්වා පැමිණි ගමනේදී තුෂාර ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් කණ්ඩායම ඔස්ට්රේලියාව ට එරෙහිව ක්රීඩා කළ තරග 10ක් (+1), එංගලන්තය සමග තරග 12ක්, නවසිලන්තය සමග තරග 11ක්, දකුණු අප්රිකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සමග තරග 10 බැගින්, සිම්බාබ්වේ සමග තරග 7ක්, ඉන්දියාව ට එරෙහි තරග 15ක්, පාකිස්තානය සමග තරග 13ක්, බංග්ලාදේශය ට එරෙහි තරග 9ක් සහ අයර්ලන්තය හා ඇෆ්ගනිස්තානය සමග තරග 1 බැගින් ආවරණය කර තිබෙන්නේ වගකීමකින් යුතුව සිය කාර්යයේ නියැලෙමින්.

ශ්රී ලංකා කණ්ඩායමේ ජාත්යන්තර සීමිත ඕවර තරගවලදී ද තුෂාර ජාත්යන්තර එක්දින (ODI) තරග 200කට ආසන්න ප්රමාණයක හා ජාත්යන්තර විස්සයි20 (T20) තරග 30ක පමණ ලකුණු සටහන්කරු ලෙස කටයුතු කර තිබෙනවා. මීට අමතරව ඔහු ඕවර 20 ලෝක කුසලාන තරගාවලියන් දෙකක සහ ඕවර 50 ලෝක කුසලාන තරගාවලියන් දෙකක ද ලකුණු සටහන් කර තිබෙනවා.
වර්තමානයේ සැරසන්ස් ක්රීඩා සමාජයේ ක්රිකට් ලේකම් ලෙස කටයුතු කරන තුෂාර කුරේ, කොළඹ ප්රධාන පෙලේ පාසල් දෙකක් වන රාජකීය හා ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල්වල ක්රිකට් ලකුණු සටහන්කරු ලෙස සේවය කර තිබෙන අතර පසුගිය වසර දොළහක් තිස්සේ සාන්ත තෝමස් විදුහලේ නිල ලකුණු සටහන්කරු හා සංඛ්යානඥයා ලෙස කටයුතු කරන්නේ ද තුෂාර. “ඒක තමයි දැන් මගේ රැකියාව” ඔහු පවසනවා.
කළුබෝවිල මහ විදුහලෙන් අධ්යාපනයේ භෞතීස්මය ලැබූ තුෂාර ඉක්බිති වැඩිදුර ඉගෙනුම පිණිස නුගේගොඩ සාන්ත ජෝන් විදුහලට ඇතුළත් වුණා. “පොඩි කාලේ පටන් ක්රිකට්වලට තිබුණු පිස්සුව නිසා ස්කෝරිං ආවා” යනුවෙන් තුෂාර කියන්නේ එක් කනක සිට අනෙක් කන දක්වා සිනහ වෙමින්. “ඉහළ මට්ටමෙන් ලොකු ක්රිකට් ගහල නැතත්, කුඩා කාලෙ ඉඳන් මම ඇතිවෙන්න ක්රිකට් ගහලා තියෙනවා.”
“මම ක්රිකට් ස්කෝරිංවලට එන්නේ පුංචි කාලේ වයස අවුරුදු දහසයේ විතර ඉඳන්. ඊට පස්සේ මට විශේෂ පුද්ගලයන් දෙන්නෙක් හම්බු වෙනවා. ඒ දෙන්නා කියනවා ‘ඔයා ස්කෝ කරනවා ලස්සනයි, දිගටම එන්න’ කියලා. එක් කෙනෙක් මගේ අයියා සුජිත් කුරේ. එයත් එතකොට ස්කෝරිං සම්බන්ධයෙන් වැඩ කරමින් හිටියා. අනෙක් කෙනා තමයි එන්.සී.සී. සමාජයේ ස්කෝ කරපු ක්ලෝඩ් ද සිල්වා. මම එන්.සී.සී. හා ක්රිකට් බෝඩ් එකේ ප්රැක්ටිස් මැචස් බොහොමයක ස්කෝ කළා.

ඒ කාලයේ ලංකාවට වැඩියෙන් කණ්ඩායම් ආවෙ නැහැ. අවසානයේ මට අවස්ථාව ලැබුණා ප්රෙස් බොක්ස් එකේ ස්කෝ කරන්න. ඒ කාලේ මාධ්ය කුටියේ හිටියේ ඔක්කොම ඉංග්රීසියෙන් කතා කරන අය. සිංහලෙන් කතා කරන්න එකෙක්වත් හිටියෙ නැහැ. මම ඉතිං පැත්තකට වෙලා ස්කෝ කළා. ඡායාරූප ශිල්පීන් තමයි කයිවාරුවට හිටියේ. එයාලා ඒ මේසෙ උඩ තියාගෙන තමයි ෆොටෝ ගැහුවේ. ඒ කාලේ ප්රෙස් බොක්ස් එකේ අපිව කවුරුවත් ගණන් ගත්තේ නැහැ. නමුත් හවසට අපිව නැතුවත් බැහැ. අපි නැතුව පාළුයි. මොකද, අපි විනෝදකාමී, රසකාමී සිංදු කියන හිත හොඳ මිනිස්සු නිසා” තුෂාර සඳහන් කරන්නේ ඒ සුන්දර මතක මාවතේ සැරිසරමින්.
“ආයෙත් අවුරුදු පහකට පස්සෙ තමයි ලංකාවට ටීම් එන්න පටන් ගත්තේ. අපිට ඒ කාලේ තිබුණේ දුප්පත් ප්රෙස් බොක්ස් එකක්. අද තියෙන නවීන තාක්ෂණය තිබුනේ නැති ප්රෙස් බොක්ස් එකක්. ඉතිං බොහොම අමාරුවෙන් තමයි අපි වැඩකළේ. අද වගේ ලකුණු විස්තර කියන්න මයික් තිබුනේ නැහැ. කටින් කෑගැහුවේ. එදා අවශ්ය වෙලා තිබුණේ කට හයිය කෙනෙක්.”
කොළඹින් පිට තරග පැවැත්වුණු කාලයේ ලැබූ අත්දැකීම් පිළිබඳව ද තුෂාර The Leader ට විස්තර කළා:
“පිට පළාත්වල තරගවලට අපි ගියේ පාරෙ බස් එකෙන්. සමහර දාට රෑට නිදාගන්නේ අස්ගිරියෙ වගේ ග්රවුන්ඩ් එකේ තියෙන කාමරයේ. අනෙක් පිට්ටනිවල කාමර තිබුණේ නැහැ. ඒ වගේ කටුක අත්දැකීම් ක්රීඩාවේ අපි වින්දා. ඒක අද මට ආඩම්බරයක්. මැච්වලට ගියේ පයින්. අද අපිට ගොඩාක් පහසුකම් තියෙනවා. ඒකනෙ අද පොරකකා මේවාට එන්නේ. අද තියෙන දේවල් මේ අයට භුක්ති විඳින්න අපි තමයි පාර කැපුවේ. අපි තමයි වෙහෙස මහන්සි වෙලා, දරදිය ඇදලා මේ තත්ත්වයට ගෙනාවෙ.”

“ඒ වගේම මේ අවුරුදු තිස්පහ ඇතුළු කාලය තුළ ලකුණු සටහන් කරන පොත සැලසුම් කළේත් මම. කිසිම මුදලක් අය කරන්නේ නැතුවයි මම ඒක කළේ. මේ ස්කෝ පොතෙන් තමයි අද ප්රිමිය, එක්දින, තුන්දින, පාසල් මට්ටමේ තරග, ටෙස්ට් තරග ඔක්කොම ස්කෝ කරන්නේ. ඉන්දියාවට එරෙහිව ඛෙත්තාරාමෙදී ලකුණු නවසිය ගාණක් ගහපු අවුරුද්දේ තමයි මම ස්කෝ පොත නිර්මාණය කළේ. මොකද, හැම දේම සටහන් කරන්න පුළුවන් ලොකු පොතක අවශ්යතාව මතුවුනේ ඒ අවස්ථාවේදීයි. ඒ අවශ්යතාව සම්පූර්ණ කරන්න මට අවස්ථාව ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා.”
තමා එන්.සී.සී., සී.සී.සී., එස්.එස්.සී., බ්ලූම්ෆීල්ඩ්, මුවර්ස්, ටැමිල් යූනියන්, බී.ආර්.සී, කෝල්ට්ස් වැනි ශ්රී ලංකාවේ සියලුම ප්රධාන ක්රිකට් සමාජවල ලකුණු සටහන් කර ඇති බව තුෂාර වැඩිදුරටත් සඳහන් කළේ, “ක්රිකට් සොෆ්ට්වෙයා එකකින් ස්කෝ කරන ලංකාවේ එකම කෙනා මමයි” යනුවෙන් මතක් කර දෙමින්.
පිතිකරුවෙක් ඔහුගේ ශතකය ආදරෙන් වෙළාගන්නා අයුරින් ම, තුෂාර කුරේ නමැති ලකුණු සටහන්කරුවාගේ මේ ශතක වික්රමය ද ගාලු ක්රීඩාංගණ මාධ්ය කුටියේ සියලු දෙනා හෙට ඔවුන්ගේ අසුන්වලින් නැගිට අත්පොළසන් දෙමින් ප්රශංසාවට ලක්කිරීමට සුදුසු අප්රමාණ අභිමානයක්.
ලකුණු සටහන්කරුවා යනු ක්රිකට් ඉතිහාසයේ භාරකරුවා මෙන්ම සෑම ටෙස්ට් තරගයකටම අත්යවශ්ය ස්ථම්භයක්.
‘වෙල්-ඩන්’ තුෂාර!
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්යෙෂ්ඨ මාධ්යවේදී






