අයර්ලන්තය ට එරෙහිව බුලවෙයියෝ නුවර පැවති ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් නායක ක්‍රෙග් අර්වින් (Craig Ervine) පවුලේ හදිසි කටයුත්තක්
හේතුවෙන් ඉවත් වීම නිසා වෙනත් ක්‍රීඩකයෙකු ක්ෂණිකව ආදේශ කිරීමට සිම්බාබ්වේ කණ්ඩායමට පෙබරවාරි 6 වැනිදා සිදුවුණා.
ඔවුන් ඒ සඳහා නම් කළ ක්‍රීඩකයා වූයේ ජොනතන් කැම්බල් (Jonathan Campbell). ඒ වන විට ඔහු ජාත්‍යන්තර විස්සයි20 තරග නවයකට ක්‍රීඩා කර තිබුණ ද, ටෙස්ට් හෝ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ක්‍රීඩා කර තිබුණේ නැහැ.
ජොනතන් සිම්බාබ්වේ ටෙස්ට් ක්‍රිකට් නායකත්වයට පිවිසි 13 වැනියා බවට පත්වූවා පමණක් නොව මංගල ටෙස්ට් තරගයක නායකත්වය දැරූ ක්‍රිකට් ක්‍රීඩක සමූහයකට ද ඇතුළත් වුණා. ඔහු තමන්ගේ ටෙස්ට් කැප් තොප්පිය ලබා ගත්තේ ඔහුගේ පියා වන ඇලිස්ටෙයාගෙන්.
| ඇලිස්ටෙයා කැම්බල් සහ හීත් ස්ට්‍රීක්
වසර 1996 සිට 2002 වකවානුවේ ඇලිස්ටෙයා කැම්බල් (Alistair Campbell) සිම්බාබ්වේ කණ්ඩායම 21 වතාවක් මෙහෙයවමින් හීත් ස්ට්‍රීක් (Heath Streak) සමග සම තත්ත්වයේ සිටින්නේ සිම්බාබ්වේ ටෙස්ට් කණ්ඩායමට වැඩිම වාර ගණනක් නායකත්වය දුන් දෙදෙනා ලෙස.
කැම්බල්ලා දැන්, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ තමන්ගේ රටවල කණ්ඩායම් සඳහා නායකත්වයේ පිය-පුතු සබඳතාවක් නිර්මාණය කළ පවුල් හතරේ දුර්ලභ කුඩා කණ්ඩායමකට එක්ව සිටිනවා.

මේ ලැයිස්තුව ආරම්භ වන්නේ එංගලන්තයේ මිඩ්ල්සෙක්ස් ප්‍රාන්තයේ මාන්ලාගෙන්. ෆ්‍රෑන්ක් මාන් (Frank (FT) Mann) ඔහු ක්‍රීඩා කළ එකම ටෙස්ට් තරග පහේදී ම එංගලන්ත කණ්ඩායම මෙහෙයවූ අතර මේ සියලු තරග පැවැත්වුනේ 1922-23 දකුණු අප්‍රිකානු සංචාරයේ. ඔහුගේ පුත් ජෝර්ජ් (George (FG)) ද ඔහු ක්‍රීඩා කළ සෑම ටෙස්ට් තරග හතේදීම එංගලන්තයේ නායකත්වය දැරූ අතර මෙයින් තරග පහක් දකුණු අප්‍රිකාවේදී 1948-49දීත්, දෙකක් එංගලන්තයේදී නවසිලන්තය ට එරෙහිව 1948-49දීත් පැවැත්වුණා.
එංගලන්තය වෙනුවෙන් 1932-33 වකවානුවේ ටෙස්ට් තරග තුනකට ක්‍රීඩා කිරීමෙන් පසුව ඉෆ්ටිකා අලි ඛාන් පටඋඩි (Iftikhar Ali Khan Pataudi)ගේ ටෙස්ට් ක්‍රීඩා දිවිය 1946දී ඉන්දියාවේ නායකයා ලෙස නැවත ආරම්භ වුණා.
ඔහුගේ පුත් මන්සූර් (Mansur), 1961-62 බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ චාලි ග්‍රිෆිත්ගේ බවුන්සර් පන්දුවකින් ලැබූ භයංකර තුවාලයකින් නාරි කන්ට්‍රැක්ටර් (Nari Contractor)ගේ ටෙස්ට් ක්‍රිකට් දිවිය හිටි අඩියේ අවසන් වීමෙන් පසුව, ඉන්දියාවේ නායකත්වයට පිවිසියා. ඒ කාලයේ ළාබාලතම ටෙස්ට් නායකයා වූ මන්සූර් එම දශකයේ ඉතිරි කාලය තුළ ඉන්දියා කණ්ඩායමේ නායකත්වය දැරූ අතර නැවත වරක් 1974-75දී කෙටි කලකට ක්‍රීඩා කිරීමට පැමිණියා.
ටෙස්ට් ක්‍රිකට් තරග සියයකට ක්‍රීඩා කළ පළමු ක්‍රීඩකයා ලෙස ඉතිහාසගත වූ කොලින් කවුඩ්රි (Colin Cowdrey) 1950 ගණන්වල පසු කාලයේ සහ 1960 ගණන්වල මුල් භාගයේ පීටර් මේ (Peter May) සහ ටෙඩ් ඩෙක්ස්ටර් (Ted Dexter) වෙනුවට එංගලන්ත කණ්ඩායමට ක්‍රීඩා කළා.
ඔහු එක්දහස් නවසිය හැට ගණන්වලදී එම්.ජේ.කේ.ස්මිත් (MJK Smith), බ්‍රයන් ක්ලෝස් (Brian Close) හා ටොම් ග්‍රෝවනී (Tom Graveney)ගේ අතරින් පතර නතර වූ නායකත්වයන්හිදී එංගලන්තය කිහිප වතාවක් මෙහෙයවූ අතර කොලින් කවුඩ්රිගේ පුත් ක්‍රිස් (Chris) එක් වතාවක් 1988දී එංගලන්ත කණ්ඩායමට නායකත්වය ලබා දුන්නා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






