බංග්ලාදේශය ට එරෙහිව ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඊයේ පැවති චැම්පියන්ස් කුසලාන තරගයේදී ඉන්දියා තුන් ඉරියව් ක්‍රීඩක අක්සාර් පටෙල් ට ඔහුගේ ප්‍රථම හැට්-ට්‍රික් (පිට පිට කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීම) දක්ෂතාව අහිමි කරමින්
ඉතාමත් පහසු උඩ පන්දුවක් රැක ගැනීමට අසමත් වීමේ වරදට තමා ඔහුට රාත්‍රී භෝජනයකින් සංග්‍රහ කරන බව ඉන්දියා නායක රෝහිත් ෂර්මා කියා තිබෙනවා.
බංග්ලාදේශ ඉනිමේ 9 වැනි ඕවරයේදී අක්සාර් පටෙල් පිට පිට පන්දුවලින් ටන්සිඩ් හසන් හා මුෂ්ෆිකුර් රහිම් දවාලුවේ බංග්ලාදේශ කණ්ඩායම ඉතා දුෂ්කර තත්ත්වයට පත්කරමින්. පටෙල්ගෙන් පිට පිට තවත් කඩුල්ලක ඉව වැටුනු නායක ෂර්මා, ඔහුට සහාය වීම පිණිස ස්ලිප් ක්‍රීඩකයන් දෙදෙනෙක් හා ලෙග් ස්ලිප් ක්‍රීඩකයෙක් ස්ථානගත කළා. වමතින් දඟ පන්දු යවන්නාගේ එම ඕවරයේ හොඳම පන්දුව ජේකර් අලිගේ පිත්තේ අග ස්පර්ශ වී පළමු ස්ලිප් ස්ථානයට පැමිණිය ද එම පහසු උඩ පන්දුව අල්ලා ගැනීමට ෂර්මා අපොහොසත් වුණා.

චැම්පියන්ස් කුසලාන තරගාවලියේ පිට පිට කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් පළමු ඉන්දියානුවා බවට පත්වීමට අක්සාර් ට තිබූ අවස්ථාව ඒ සමග නැතිව ගියා. ෂර්මාගේ අතින් ගිලිහුනු එම උඩ පන්දුව ඉන්දියාව ට බොහෝ සේ රිදවමින් ජේකර් අලි ලකුණු 68ක් දක්වා පිතිකරණයේ නියැලෙමින් ටෝහිඩ් රිඩෝයි සමග ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් බංග්ලාදේශයේ වැඩිම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් (ODI) සබඳතාව වන ලකුණු 154ක් වාර්තා කළා. පවර් ප්ලේ ක්‍රීඩාවේ ෂර්මා පළමු ස්ලිප් ස්ථානයේ සිට උඩ පන්දුව රැකගත්තා නම් බංග්ලාදේශය ලකුණු 35 ට කඩුලු 6 දක්වා අඩු කිරීමට අවස්ථාව තිබුණා. එහෙත් ඒ වෙනුවට ඔවුන් 228ක තරගකාරී මුළු ලකුණු සංඛ්‍යාවක් කරා ගියා.

කෙසේ වෙතත්, ෂුබ්මන් ගිල්ගේ 8 වැනි ODI ශතකයට ස්තූතිවන්ත වන්නට ඉන්දියාව කඩුලු හයක් අතැතිව ඉලක්කය හඹා යමින් චැම්පියන්ස් කුසලාන තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගත්තා.
තරගයෙන් පසුව රෝහිත් ෂර්මාගෙන් ඔහු අතින් ගිලිහුනු උඩ පන්දුව ගැන විමසූ විට, තමා විසින් පිටියේ ස්ථානගත කළ උසස් තත්ත්වයේ පන්දු රැකීම සැලකිල්ලට ගත් විට තමා එම උඩ පන්දුව අල්ලා ගත යුතුව තිබූ බව ඔහු කියා සිටියා.
“මම සමහර විට අක්සාර්ව හෙට රාත්‍රී කෑමකට එළියට එක්ක යන්න ඉඩ තියෙනවා. එය ඉතාම පහසු කැච් එකක්. මා විසින් ස්ථානගත කළ පන්දු රැකීමත් එක්ක මම ඒ පන්දුව අල්ලා ගත යුතුව තිබුණා. නමුත් මෙවැනි දේවල් සිදුවිය හැකි බව මම දන්නවා. රිඩෝයි හා ජේකර්ගේ ක්‍රීඩාව අපූරුයි. ඔවුන් හොඳ කඩුලු සබඳතාවක් ගොඩනැගුවා.”
ඉන්දියා ඉනිමේදී කේ.එල්.රාහුල් දුන් උඩ පන්දුවක් අත්හරිමින් ජේකර් අලි ප්‍රතිඋපකාර දැක්වූ අවස්ථාවේ, ‘මම ඔයාගෙ කැච් එක අත්හැරියා’ කියමින් ඉන්දියා නායකයා විහිළු කරනු දිස්වුණා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






