චැම්පියන්ස් කුසලාන තරගයක ලකුණු 40කට වැඩියෙන් රැස් කරගෙන කඩුලු පහක් ද ලබා ගත් පළමු ක්‍රීඩකයා බවට ඇෆ්ගනිස්තානයේ අස්මටුල්ලා ඔමාසායි (Azmatullah Omarzai) පත්ව සිටිනවා.
චැම්පියන්ස් කුසලාන තරගාවලි ඉතිහාසයේ ජැක්ස් කලිස්, මකායා නිටිනි, ජේකබ් ඔරාම් හා ග්ලෙන් මැග්‍රාත් ට පසුව කඩුලු පහක් ලබා ගත් පස්වැනි පන්දු යවන්නා ලෙස ද ඔමාසායි ඉතිහාසගතව සිටිනවා.

අස්මටුල්ලා ඔමාසායි නමැති තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩකයාගේ නම වාර්තා පොතට ඇතුළත් කළේ එංගලන්තය ට එරෙහිව පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේ ඊයේ පැවති චැම්පියන්ස් කුසලාන ‘බී’ කොටසේ තරගයේ පිත්තෙන් හා පන්දුවෙන් ඔහු දැක්වූ දස්කම්. එහිදී ඇෆ්ගනිස්තානය ලකුණු 8කින් එංගලන්තය පරාජය කරමින් වාර්තා කළේ ඔවුන්ගේ එදා මෙදා තුර පළමු චැම්පියන්ස් කුසලාන තරග ජයග්‍රහණය.
මේ ඇෆ්ගන් ජයග්‍රහණයත් සමග එංගලන්තය මෙවර චැම්පියන්ස් කුසලාන තරගාවලියෙන් ඉවතට විසිවූ තෙවැනි කණ්ඩායම බවට පත්වුණා. මීට කළින් පාකිස්තානය හා බංග්ලාදේශය තරගාවලියෙන් ඉවතට ගියා. ඇෆ්ගනිස්තානය තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට නම් ඔවුන් ඔස්ට්‍රේලියාව පරාජය කළ යුතු වනවා.
ඊයේ තරගයේ ඇෆ්ගනිස්තානයේ කඩුලු 7 ට ලකුණු 325ක ඉනිමේදී ඔමාසායි පන්දු 31කින් ලකුණු 41ක් රැස් කිරීමට අමතරව කඩුලු 5ක් ද ලබා ගත්තේ ලකුණු 59ක් පමණක් ලබා දෙමින්. ඔහුගේ මඳ වේග පන්දුවලට දැවී ගිය පිතිකරුවන් වූයේ ෆිල් සෝල්ට්, ජොස් බට්ලර්, ජෝ රූට්, ජැමී ඔවර්ටන් හා අඩිල් රෂිඩ්.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






