මේ දිනවල පාකිස්තානයේ පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරක්ෂක රාජකාරියේ යෙදීම ප්‍රතික්ෂේප කළ පාකිස්තාන පන්ජාබ් පොලිසියේ පොලිස් භටයන් 100කට වැඩි දෙනෙකු සේවයෙන් පහ කර තිබෙනවා.
සේවයෙන් නෙරපා දැමුනු මේ පොලිස් භටයින් පොලිස් බලකායේ විවිධ අංශවලට අනුයුක්තව සිටි අය.
පන්ජාබ් පොලිසියේ නිලධාරියෙකුට අනුව, පොලිස් භටයින් හා පොලිස් නිලධාරීන් සියයකට වැඩි පිරිසක් අවස්ථා ගණනාවකදී සේවයට වාර්තා නොකිරීම හා තවත් සමහරු චැම්පියන්ස් කුසලාන තරගාවලියේ ඔවුන්ට පවරා තිබෙන රාජකාරි ඉටු කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔවුන්ගේ තනතුරුවලින් ඉවත් කර තිබෙනවා.

මේ පොලිස් නිලධාරීන්ට නියමව තිබුණේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණය හා හෝටල අතර ගමන් කරන කණ්ඩායම්වලට ආරක්ෂාව සැපයීම. එහෙත් මේ නිලධාරීන් සේවයට පැමිණ නැති අතර තවත් පිරිසක් එම වගකීම භාර ගැනීම ප්‍රතික්ෂේප කළ බව පන්ජාබ් පොලිස් නිලධාරියා ප්‍රකාශ කරනවා.
පන්ජාබ් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක උස්මාන් අන්වර් විසින් මේ නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇතැයි වාර්තා වනවා. ජාත්‍යන්තර තරග පැවැත්වෙන විට මෙසේ රාජකාරිය නොසලකා හැරීමට ඉඩ දිය නොහැකි බව ඔහු තරයේ ප්‍රකාශ කර තිබෙනවා.

සේවයෙන් නෙරපා දැමුණු පොලිස් නිලධාරීන් තමන්ට පවරා තිබූ නිල කාර්යයන් ඉටු කිරීම ප්‍රතික්ෂේප කළ හේතුව කුමක්ද යන්න පිළිබඳව නිල ප්‍රකාශයක් නැතත්, මේ නිලධාරීන් පැය ගණන් දීර්ඝ රාජකාරි නිසා අධික වෙහෙසට පත්ව සිටි බව දේශීය මාධ්‍ය වාර්තා කිහිපයක සඳහන් වනවා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






