‘දකුණු ආසියාවේ පාපන්දු ලෝක කුසලානය’ ලෙසින් හැඳින්වෙන දකුණු ආසියානු (සාෆ්) පාපන්දු ශූරතාවලියේ 2025 වසරේ සත්කාරකත්වය
ශ්‍රී ලංකාව ට ලැබී තිබෙනවා.
ජූනි මාසයේ පැවැත්වීමට නියමිත මේ දකුණු ආසියානු පාපන්දු සම්මේලන ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, භූතානය, මාල දිවයින් සහ නේපාලය යන රටවල් හත සහභගි වනවා. මේ තරගාවලියේ වර්තමාන ශූරයින් මෙන්ම දකුණු ආසියානු පාපන්දු ඉතිහාසයේ වඩාත්ම සාර්ථක කණ්ඩායම බවට පත්ව සිටින්නේ ඉන්දියාව.
එහෙත් දේශීය නරඹන්නන් ඉදිරියේ ක්‍රීඩා කිරීමේ වාසිය සමග ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමට සාෆ් කිරුළ නැවත මව්බිමට දිනා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් දැන් උදාවී තිබෙනවා.
ශ්‍රී ලංකාව අවසන් වතාවට සාෆ් ශූරතාවලියකට සත්කාරකත්වය දැරුවේ 2008 වසරේ. ඒ, මාල දිවයින් සමග සමසත්කාරකත්වයෙන් යුතුව. ඒ අනුව, මේ වටිනා තරගාවලිය වෙනුවෙන් කලාපයේ සිටින හොඳම පාපන්දු කණ්ඩායම් ශ්‍රී ලංකාව ට ගෙන්වා ගැනීමේ අවස්ථාව නැවත වරක් ලැබෙන්නේ වසර 17කට පසුව.
දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ - South Asian Football Federation (SAFF) - සාමාජික රටවල් විසින් ශ්‍රී ලංකාව ට 2025 තරගාවලියේ සත්කාරකත්වය පිරිනැමීමට තීරණය කර තිබෙන්නේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් විසින් කරන ලද ඉල්ලීමකට අනුව.
2025 සාෆ් පාපන්දු ශූරතාවලියේ සත්කාරකත්වය ලබා ගැනීමේ ශ්‍රී ලංකාවේ සාර්ථක උත්සාහය ඔහුගේ කැපවීම හා නායකත්වයට හොඳ සාක්ෂියක්.
| ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර්
ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩා තත්ත්වය ඉහළට ගෙන ඒමේ අභිලාෂයෙන් යුතුව ජස්වර් උමාර්, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ධූරයට පත්වූ දා පටන් කටයුතු කරමින් සිටින්නේ ජාතික කණ්ඩායම දියුණු කිරීම ඉලක්ක කරගෙන. ඔහුගේ දැක්ම වී තිබුනේ ප්‍රධාන ලීග් තරගාවලියන් ශ්‍රී ලංකාව ට ගෙනැවිත් ජාතික කණ්ඩායමට මව්බිමේදී බැබලෙන්නට අවස්ථාව උදා කිරීම.
ඔහුගේ මේ ප්‍රයත්නයන් දැන් ඵල දරා තිබෙන්නේ දකුණු ආසියානු කලාපයේ තිබෙන වඩාත්ම ගෞරවනීය පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව ලබා ගෙන තිබෙන නිසාවෙන්.
ශ්‍රී ලාංකික පාපන්දු ඉතිහාසයට, කොළඹ දී පැවති 1995 සාෆ් ශූරතාවලියේ අත්කර අමතක නොවන ජයග්‍රහණය ඇතුළත්ව තිබෙනවා. එය මේ දක්වා ශ්‍රී ලංකාව හිමිකර ගත් එකම සාෆ් කිරුළ යි. මේ වසරේ තරගාවලියට සත්කාරකත්වය දැක්වීමෙන් ශ්‍රී ලංකාව ට එම කිරුළ වසර තිහකට පසුව නැවත වරක් අත්කර ගැනීමේ මහඟු අවස්ථාවක් ලැබෙනවා පමණක් නොව පාපන්දුවේ ජාතික අභිමානය නැවත ඇතිකර ගැනීමට ද හැකිවනවා.
අනුග්‍රාහකයන් ඇතුළු දහස් ගණන් විදෙස් සංචාරකයින් මේ තරගාවලිය වෙනුවෙන් දිවයිනට ..
මේ තරගාවලියේ සත්කාරකයන් ලෙස කටයුතු කිරීම ශ්‍රී ලංකා පාපන්දුව පමණක් අත්කර ගත් ජයග්‍රහණයක් නෙවෙයි. මෙය රට ට ලැබෙන ප්‍රධාන ආර්ථික හා සමාජමය අවස්ථාවක් ද වනවා. තරගාවලියට සහභාගි වන රටවල ක්‍රීඩකයින් හා පුහුණු මණ්ඩල, දකුණු ආසියාව හරහා පැමිණෙන පාපන්දු ලෝලීන්, ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍යවේදීන්, වාණිජ හවුල්කරුවන් සහ තරගාවලියට ආයෝජනය කරන අනුග්‍රාහකයන් ඇතුළු දහස් ගණන් විදෙස් සංචාරකයින් මේ තරගාවලිය වෙනුවෙන් දිවයිනට පැමිණෙනවා.
2025 සාෆ් පාපන්දු ශූරතාවලියේ සත්කාරක රට ලෙස ශ්‍රී ලංකාව දැන් නිල වශයෙන් ස්ථිරව සිටියදී අවධානය යොමු වන්නේ ලෝක මට්ටමේ තරගාවලියක් සංවිධානය කිරීමේ කර්තව්‍යයට. මේ සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය, ශ්‍රී ලංකා රජය සහ පෞද්ගලික ව්‍යාපාරවල ශක්තිමත් සහයෝගීත්වයක් අවශ්‍ය වනවා.
සාර්ථකව දියත් කළහොත්, 2025 SAFF පාපන්දු ශූරතාවලිය ශ්‍රී ලංකාව ට මේ වසරේ තිබෙන ලොකුම ක්‍රීඩා ඉසව්ව වනු ඇත්තේ එමගින් අනාගතයේදී තව තවත් ජාත්‍යන්තර තරගාවලියන් පැවැත්වීමට ද වේදිකාව සකස් වෙමින්.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






