ඉන්දියා ක්‍රිකට් නායක රෝහිත් ෂර්මා වාර්තාවක් සමකර තිබෙනවා. එහෙත් මේ වාර්තාව නොතිබුනා නම් කොතරම් හොඳ ද කියා ඔහු කල්පනා කරනවාට කිසිම සැකයක් නැහැ.
ෂර්මා මේ අනවශ්‍ය වාර්තා සම කිරීම සිදුකර තිබෙන්නේ ඉන්දියා ප්‍රිමිය ලීග් (අයි.පී.එල්.) ඉතිහාසයේ වැඩිම බින්දු ලබා ගනිමින්.
‘මුම්බායි ඉන්ඩියන්ස්’ කණ්ඩායමේ ආරම්භක පිතිකරු ෂර්මා වැඩිම අවස්ථාවක් බින්දුවට දැවී යාමේ වාර්තාව සම කළේ ‘චෙන්නායි සුපර් කිංග්ස්’ පිලට එරෙහිව ඊයේ පැවති තරගයේ.

‘මුම්බායි ඉන්ඩියන්ස්’ වෙනුවෙන් පිතිකරණය ආරම්භ කළ රෝහිත් ෂර්මා පන්දු තුනකට පමණක් මුහුණ දෙමින් බින්දුවට දැවී ගිය අතර මෙය පසුගිය වසරේ බාබෙඩෝස් හි දකුණු අප්‍රිකාව ට එරෙහිව පැවති ඉන්දියාවේ විස්සයි20 ලෝක කුසලාන අවසාන තරගයෙන් පසුව ෂර්මා ක්‍රීඩා කළ පළමු T20 තරගය වී තිබුනා.
රෝහිත්ගේ බින්දුව IPL තරගාවලියේ ඔහුගේ 18 වැන්න වූ අතර ඒ සමග ඔහු ඩිනේෂ් කර්තික් සහ ග්ලෙන් මැක්ස්වල් සමග මේ ඇදහිය නොහැකි IPL බින්දු වාර්තාවේ සම හිමිකරුවෙකු බවට පත්වුනා.
සියලු ඉන්දියා T20 පිතිකරුවන් අතර වැඩිම බින්දුවට දැවී යාම් වාර්තා කර තිබෙන්නේ ද 37 හැවිරිදි ෂර්මා වීම විශේෂත්වයක්.
2007 වසරේදී ප්‍රථම වතාවට විස්සයි 20 ක්‍රිකට් තරග බිමට පිවිසි රෝහිත් ෂර්මා ඔහුගේ තරග 449ක ක්‍රීඩා දිවිය තුළ 31 වතාවක් බින්දුවට දැවී ගොස් තිබෙනවා.

වැඩිම IPL බින්දු:
18 - රෝහිත් ෂර්මා
18 - ග්ලෙන් මැක්ස්වල්
18 - ඩිනේෂ් කර්තික්
16 - පියූෂ චවුලා
16 - සුනිල් නාරයින්
15 - රෂිඩ් ඛාන්
15 - මන්ඩීප් සිං
14 - මනිෂ් පාන්ඩේ
14 - අම්බාටි රේයුදු

(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී






