leader s

ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳව කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී....

 

2025 ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය විසිඑක් වසරකට පසුව ශ්‍රී ලංකාව ට ලැබී තිබෙනවා.

ශ්‍රී ලංකාව ට මේ අගනා අවස්ථාව ලැබී තිබෙන්නේ මීට මාස පහකට පෙර සිලෝන් ගෘහස්ථ ක්‍රිකට් සම්මේලනය මගින් ශ්‍රී ලංකාවේ පැවැත්වූ මාස්ටර්ස් ලෝක ගෘහස්ථ ක්‍රිකට් තරගාවලියේ සාර්ථකත්වය මත.

ලෝක ගෘහස්ථ ක්‍රිකට් සම්මේලනය (WICF) මෙවර ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පවත්වන්නේ 12 වැනි වතාවට. තරගාවලිය සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 5 දක්වා තලවතුගොඩ ඔස්ටේසියා ක්‍රීඩා සංකීර්ණයේ හා අලුතින් ඉදිකරන ලද U Pro අංගණයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඔස්ට්‍රේලියාව, නවසිලන්තය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, එංගලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සිංගප්පූරුව, අමෙරිකාව හා ශ්‍රී ලංකාව යන WICF හි ලියාපදිංචිව සිටින කණ්ඩායම් නවය ම මේ තරගාවලියට සහභාගි වන අතර ඔවුන් පිරිමි හා කාන්තා විවෘත, වයස අවුරුදු 22 ‌ට අඩු පිරිමි හා කාන්තා යන ඛාණ්ඩ යටතේ තරග වැදීමට නියමිතයි.

Indoor Cricket 2

 

ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක් පළමු වරට පැවැත්වුනේ 1995 වසරේදී එංගලන්තයේ බර්මිංහැම් නගරයේ. බ්‍රිස්ටල් නුවර ද එක් වතාවක් මේ තරගාවලියට සත්කාරකත්වය දක්වා ඇති අතර ඔස්ට්‍රේලියාව තෙවතාවක් සත්කාරකයන් ලෙස කටයුතු කරමින් මෙල්බර්න් හා බ්‍රිස්බන් නගරවල එම තරගාවලියන් පවත්වා තිබෙනවා. තරගාවලිය අවසන් වතාවට 2022 වසරේ පැවැත්වූයේ ද මෙල්බර්න් නගරයේ.

මීට අමතරව, නවසිලන්තයේ වෙලිංටන් නුවරදී දෙවතාවක් ද, දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හා ගඋටෙං යන නගරවල දෙවතාවක් ද, ඩුබායි හා කොළඹදී එක් වතාවක් බැගින් ද ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියන් පවත්වා තිබෙනවා. ශ්‍රී ලංකාවේදී මේ තරගාවලිය පළමු වරට පවත්වා තිබෙන්නේ වසර 21කට පෙර.

මෙතෙක් පවත්වා තිබෙන ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලානයේ පිරිමි හා කාන්තා තරගාවලියන් සියල්ල ම ඔස්ට්‍රේලියාව විසින් ජයග්‍රහණය කර තිබීම විශේෂත්වයක්. එරට මේ ක්‍රීඩාව ඔවුන්ගේ එක් ජාතික ක්‍රීඩාවක් ලෙස පිළිගෙන තිබෙන අතර ඔස්ට්‍රේලියානු එළිමහන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් බොහෝ දෙනෙකු ද ආරම්භයේදී ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩා කර තිබෙනවා. නවසිලන්තය අට වතාවක් ද, දකුණු අප්‍රිකාව දෙවතාවක් ද, ශ්‍රී ලංකාව එක් වතාවක් ද ලෝක කුසලාන අනුශූරයින් වී තිබෙනවා.

72968235 2525068077573366 4428908685804175360 n

 

කාන්තා අංශයේදී දකුණු අප්‍රිකාව හත් වතාවක් අනුශූරියන් වී තිබෙන අතර නවසිලන්තය තෙවතාවක් අනුශූරතාව හිමිකර ගෙන තිබෙනවා.

ගෙවී ගිය වසරේදී ජාත්‍යන්තර ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාවේ වැදගත් ඉසව් කිහිපයක් ශ්‍රී ලංකාවේ පැවැත්වුනා. එංගලන්ත ආසියා කුසලානය හා ඉන්පසුව මාස්ටර්ස් ලෝක කුසලානය වැනි තරගාවලියන් මෙහි පැවැත්වුනේ යාවත්කාලීන කෙරුණු U Pro සහ  Austasia ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගණ ප්‍රාණවත් කරමින්.

මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරගාවලිය රට ට ක්‍රීඩා සංචාරක ව්‍යාපාරය අතින් ද වැදගත් වනුයේ දහසක් පමණ ක්‍රීඩකයින්, නිලධාරීන් සහ ක්‍රීඩා ලෝලීන් විදේශයන් හි සිට දිවයිනට පැමිණ හෝටලවල නතර වෙමින් රටේ සංචාරය කරනු ඇති බැවින්.

(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්