ලිටන් දාස් (76), තව්හීද් රිදෝයි (31) සහ ශමීම් හොසේන් (48) එක්ව බංග්ලාදේශය වැටී සිටි අසීරු තත්ත්වයෙන් ගොඩගැනීමත් සමගින් දිරිමත් වු පන්දු යවන්නෝ, රංගිරි දඹුල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී ඊයේ (13 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී ලකුණු 83 ක ජයක් කරා තම කණ්ඩායම කැඳවාගෙන ගියහ.
පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත ඕවර 20 නිමාවේදී කඩුලු 7 ක් දැවී ලකුණු 177 ක් ලබාගත්තේය.
ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 15.2 ක් නිමාවේදී ලකුණු 94 කට දැවී යාමත් සමගින් තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 1-1 ක් ලෙසින් සමව තිබේ.
මෙම ලකුණු 94 ශ්‍රී ලංකා කණ්ඩායමක් සිය මව්බිමේදී පැවැති විස්සයි-20 තරගයකදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් ද සටහන් වේ.

මෙය ශ්‍රී ලංකා කණ්ඩායම මව්බිමේදී ක්‍රීඩා කළ T20 ජාත්‍යන්තර තරගයකදී ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්විය. ශ්‍රී ලංකාව T20 තරගයක මෙතෙක් රැස්කළ අඩුම ලකුණු සංඛ්‍යාව වන්නේ ලකුණු 77කි. 2024 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහි තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් ලකුණු 77කට දැවී ගියේ නිව් යෝක්හි පැවැති තරගයකදීය.
ලකුණු 178 ක ඉලක්කයක් කරා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 4 ක් ලකුණු 30 කට ඇද වැටිණ. පැතුම් නිස්සංක (32) සහ දසුන් ශානක (20) එක්ව ලකුණු සංඛ්‍යාව 71 දක්වා ගෙන ගිය නමුත් පැතුම්ගේ දැවී යාමත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු හයම ලකුණු 23 ක් තුළ ඇද වැටිණ.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පිට පිටම දෙවැනි වතාවටත් පන්දු යැවීම තෝරා ගත්තේය. එහි ප්‍රයෝජන ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ දෙවැනි ඕවරය නිමාවන විට ලකුණු 07 කට කඩුලු දෙකක් බිම දමාගත්හ. එහෙත් ලිටන් දාස් සමගින් එක්වූ තව්හීද් රිදෝයි, තුන්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 55 කින් ලකුණු 69 ක් එක් කළේ 12 වැනි ඕවරය වන විට ලකුණු 78 ක් පුවරුවට ගෙන එමිනි.
බංගලාදේශ ඉනිමට ජවය ගෙනා ලිටන් සහ ෂමිම්

අවසන් ඕවර 8 දී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට රිසි සේ පහර දුන් ලිටන් දාස් සහ ශමීම් හොසේන් දෙදෙනා පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 77 ක් එක් කළහ. දෙදෙනා අතර සම්බන්ධතාව බිඳ වැටෙන විට 19 වැනි ඕවරය යැවෙමින් තිබිණ. මහීෂ් තීක්‍ෂණගේ පන්දුවක් හමුවේ දැවී යාමට පෙර පන්දු 49 කට මුහුණ දී සිටි ලිටන් දාස්, ලකුණු 76 ක් ලබාගත්තේ හතරේ පහරකින් සහ හයේ පහර 5 කින් සිය ඉනිම සරසමිනි.
ලිටන් දාස්ට විශිෂ්ට සහයෝගයක් දුන් ශමීම් හොසේන්, පන්දු 27 කින් ලබාගත් ලකුණු 48 ට හතරේ පහර 5 ක් සහ හයේ පහර 2 ක් ඇතුළත් විය.
තීරණාත්මක තරඟය 16 දා කොළඹ දී
තරග 3කින් සමන්විත T20 තරගාවලිය මේවන විට තරග 1ට 1ක් ලෙස සම තත්ත්වයේ පවතී.
බංගලාදේශයට එරෙහි පළමු T20 තරගයෙන් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලැබීය.
තරගාවලියේ තීරණාත්මක තුන්වැනි සහ අවසන් විස්සයි-20 තරගය ලබන බදාදා (16 වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.






