ලොව වයස්ගතම මැරතන් ධාවකයා ලෙස සැලකෙන බ්‍රිතාන්‍ය-ඉන්දියා පුද්ගලයෙකු වන ෆඋජා සිං (Fauja Singh) මිය ගොස් තිබෙනවා. ඉන්දියාවේදී මෝටර් රථයක් ඔහු සමග ගැටීමෙන් සිං මිය ගියේ 114 වැනි වියේ පසුවෙමින් සිටියදී.
පන්ජාබයේ සිය උපන් ගම වූ Beas Pind හි පිහිටි මාර්ගයක් හරහා ඇවිද යමින් සිටියදී වේගයෙන් පැමිණි හඳුනා නොගත් මෝටර් රථයක් ඔහු සමග ගැටීමෙන් මේ මරණය සිදුව ඇතැයි පොලිසිය පවසනවා. මෝටර් රථය නොනවත්වා පැන ගොස් තිබෙන අතර ගම්වාසීන් ඔහුව රෝහලට ගෙන ගියා. එහෙත් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකිවුනේ නැහැ.
ගෝලීය ප්‍රතිමාමය චරිතයක් වන සිං, වයස අවුරුදු 100 ට වඩා වැඩිව සිටියදී සහභාගි වූ තරගයක් ද ඇතුළුව විවිධ වයස් ඛාණ්ඩවල මැරතන් ධාවනයේ යෙදෙමින් වාර්තා පිහිටුවීමට සමත් වුණා. 89 වැනි වියේදී මැරතන් දිවීම ආරම්භ කළ සිං 2000 වසරේ සිට 2013 වසරේ විශ්‍රාම යාම දක්වා කාලය තුළ පූර්ණ මැරතන් තරග නවයකට සහභාගි වුණා.
සිං 1992 වසරේ සිට ජීවත් වූ නැගෙනහිර ලන්ඩනයේ ඉල්ෆඩ් නුවර මින් ඉදිරියට පැවැත්වෙන ඉසව් ඔහුගේ ජීවිතය හා ජයග්‍රාහී ක්‍රියාවන් සමරණ අවස්ථාවන් වනු ඇතැයි ෆඋජා සිංගේ දිවීම හා පුණ්‍යායතන සමාජය වන Sikhs In The City ප්‍රකාශ කරනවා.
සඳුදා අනතුර සිදුකර පලා ගිය මෝටර් රථය සොයා යාම ආරම්භ කර තිබෙන බවත් වැරදිකරුවන් ඉක්මනින් අල්ලා ගන්නා බවත් දිස්ත්‍රික්කයේ ඉහළම පොලිස් නිලධාරියා කියා තිබෙනවා.
සිං මිය ගිය පුවත සැලවීමත් සමග ඔහු වෙනුවෙන් උපහාර ගලා ආවා.
ඔහු විස්මිත අධිෂ්ඨානයක් තිබූ අසාමාන්‍ය ක්‍රීඩකයෙක් ලෙස ඉන්දියා අගමැති නරේන්ද්‍ර සිං මෝදි විසින් සිංව හඳුන්වා දී තිබුණා.
2026 වසරේ මාර්තු මස 29 වැනි දිනට යෙදෙන ෆඋජා සිං උපන්දින අභියෝග ශූරතාව දක්වා තිබෙන සෑම ඉසව්වක්ම ඔහු වෙනුවෙන් වෙන් කිරීමට Sikhs In The City සමාජය තීරණය කර තිබෙන බව සිංගේ පුහුණුකරු හාමන්දර් සිං (Harmander Singh) කියනවා.
“ඉල්ෆඩ් නගරයේ ඔහු මැරතන් ධාවනය පුහුණු වූ මාර්ගයේ ‘ෆඋජා සිං සමාජ නිවහන’ ඉදිකිරීම සඳහා අරමුදල් රැස්කිරීමේ උත්සාහය අපි දෙගුණ කරනවා.” පසුගිය ජූනි මාසය වන විටත් සිං කඩිසරව හා ක්‍රියාශීලීව ඔහුගේ ගමේ දිනකට සැතපුම් කිහිපයක් ඇවිදිමින් සිටියා.
“මම මගේ කකුල් ශක්තිමත්ව තබා ගැනීම සඳහා තවමත් ගම වටේ ඇවිදිනවා. මිනිහෙක් වුනාම එයා එයාගෙ සිරුර ගැන සැලකිලිමත් වෙන්න ඔ්න” යනුවෙන් සිං එදා කියා තිබුණා.
2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ ගිනිසිළුව රැගෙන ගිය ෆඋජා සිං, ඔහුගේ දිවීමේ ක්‍රීඩා දිවිය තුළ වැදගත් සිදුවීම් කිහිපයක්ම සටහන් කළ අතර 2011 වසරේ ටොරොන්ටෝ හි පූර්ණ මැරතන් තරගයක් සම්පූර්ණ කළ ප්‍රථම සියක් වස් හැවිරිදි පුද්ගලයා බවට පත්වීම ද ඊට ඇතුළත්.
කෙසේ වෙතත්, ලෝකයේ වඩාත්ම වයස්ගත මැරතන් ධාවකයා ලෙස ඔහුගේ අයිතිය ගිනස් ලෝක වාර්තා විසින් පිළිගෙන නැත්තේ ඔහුට 1911 වර්ෂයේ උප්පැන්න සහතිකයක් පෙන්වීමට නොහැකි වූ බැවින්. එහෙත් සිංගේ බ්‍රිතාන්‍ය විදෙස් ගමන් බලපත්‍රයේ සඳහන්ව ඇති පරිදි ඔහුගේ උපන්දිනය 1911 අප්‍රේල් 1 බවත් ඔහුගේ 100 වැනි උපන්දින දා එංගලන්ත මහරැජින ඔහුට සුභපැතූ ලිපියක් ඔහු සතුව තිබෙන බවත් බී.බී.සී.ය එම අවස්ථාවේදී වාර්තා කර තිබුණා.

සිං උපන් වකවානුවේ ඉන්දියාවේ උප්පැන්න සහතික නිකුත් කිරීමක් සිදු නොවූ බව ඔහුගේ පුහුණුකරු හාමන්දර් සිං සඳහන් කරනවා.
සිං ට ඔහුගේ වාර්තාව ලබා දීමට තමන් ඉතාමත් කැමැත්තෙන් සිටින බවත් එහෙත් තමන්ට බාරගත හැක්කේ උපන් වසරේ නිකුත් කරන ලද නිල උප්පැන්න ලේඛන පමණක් බවත් ගිනස් ලෝක වාර්තා නිලධාරීන් ප්‍රකාශ කරනවා.
පන්ජාබයේ හැදී වැඩෙන තරුණ කොල්ලෙක්ව සිටියදී සිං, ඔහුගේ දෙපා දුර්වල නිසා ගම්වාසීන්ගේ සරදමට ලක්වූ අතර වයස අවුරුදු පහ වනතුරුම ඔහුට නියමාකාරයට ඇවිදින්න හැකිවුනේ නැහැ.
“නමුත්, දුර්වලතාව නිසා කලක් විහිළුවට ලක්වුනු ඒ කොල්ලා ම පසුව ඉතිහාසය නිර්මාණය කිරීම දක්වා ඉදිරියට ගියා” යනුවෙන් සිං ජූනි මාසයේදී පන්ජාබි බී.බී.සී.යට පැවසුවා.
ගොවියෙකු වන සිං 40 වැනි වියට පිවිසීමට පෙර ලෝක යුද්ධ දෙකේ ම කැලැඹුණු තත්ත්වයන්ට සහ ඉන්දියාව හා පාකිස්තානය නමැති නව ප්‍රාන්තය යනුවෙන් වෙන්වීමේ කම්පනයන්ට මුහුණ දුන්නා.
“මම කොල්ලා කාලේ, ‘මැරතන්’ කියලා වචනයක් තියෙනවා ද කියලවත් දැන හිටියේ නැහැ” සිං පන්ජාබි බී.බී.සී.යට කීවා. “මම කවදාවත් ඉස්කෝලෙ ගියේ නැහැ. කිසිම ආකාරයේ ක්‍රීඩාවකට සම්බන්ධ වුනෙත් නැහැ. ගොවියෙකුව සිටි මම මගේ ජීවිතයේ වැඩි හරියක් ගතකළේ කුඹුරේ.”
දැඩි ශෝකය නිසා පසුනොබැස සිටීම පිණිසයි ඔහු පළමු වරට දුවන්න පටන් ගත්තේ.

1990 ගණන් ආරම්භයේදී බිරිඳ මිය යාමෙන් පසුව සිං ඔහුගේ වැඩිමල් පුතා සමග ජීවත් වීමට ලන්ඩනයට පැමිණියා. නමුත් පසුව ඉන්දියාව ට ගිය ගමනක් අතරතුර ඔහුගේ බාල පුතා අනතුරකින් මිය යාම දැකීමෙන් ඔහු මහත් කම්පාවට පත්වුණා.
බිරිඳගේ වියෝවේ ශෝකය දරාගත නොහැකිවූ සිං, තමාගේ පුතා ආදාහනය කළ ස්ථානය අසල වාඩිවී පැය ගණන් ගතකළ අතර ඔහු ගැන සැලිකිලිමත් වූ ගම්වැසියන් ඔහුව නැවත එංගලන්තය ට ගෙන්වා ගන්නා ලෙසට ඔහුගේ පවුලේ උදවියට උපදෙස් දුන්නා.
නැවත ලන්ඩනයේ ඉල්ෆඩ් නුවරට පැමිණීමෙන් පසුව සිං ට, එකට එකතු වී දුවන වැඩිහිටි පුද්ගලයන්ගේ කණ්ඩායමක් මුණගැසුනා. එහිදී ඔහුට, පසුව ඔහුගේ පුහුණුකරු බවට පත්වූ හාමන්දර් සිං ද හමුවුණා.
“මට හාමන්දර් සිං හමු නොවුනා නම්, මම මැරතන් ධාවනයට යොමු නොවන්න ඉඩ තිබුණා” යැයි සිං ජූනි මාසයේ පැවසුවා.
ඔහු ප්‍රථම වතාවට 2000 වසරේදී ලන්ඩන් මැරතන් තරගයට සහභාගි වූයේ වයස අවුරුදු 89 වීමට මාසයක් ඉතිරිව තිබියදී. නොමේරූ ළදරුවන්ට උපකාර වන BLISS නමැති පුණ්‍යායතනයක් වෙනුවෙන් මැරතන් ධාවනයේ යෙදුනු ඔහුගේ ලේබලය වූයේ, “ළාබාලතම අය වෙනුවෙන් දුවන වයස්ගතම පුද්ගලයා. මං වගේම ඔවුනුත් දිගු කල් ජීවත් වේවා!” යන්නයි.
තමාට පැළඳිය හැක්කේ බොහෝ සික් කොල්ලන් හා පිරිමින් අඳින හිස් පලඳනාව මිස තලප්පාවක් නොවන බවට මැරතන් තරගයට පෙර නිලධාරීන් තමාට කී බව සිං ප්‍රකාශ කළා.

“මගේ තලප්පාව නැතුව දිවීම මම ප්‍රතික්ෂේප කළා. අවසානයේ සංවිධායකයින් මට එය පැළඳ දුවන්න අවසර දුන්නා. මට නම්, ඒක තමයි මම ලබපු ලොකුම ජයග්‍රහණය.”
ඔහු තරගය පැය හයයි මිනිත්තු 54කින් නිම කළේ අපූර්ව ගමනක ආරම්භය සනිටුහන් කරමින්.
ලන්ඩන් මැරතන් ධාවනයේ ඔහුගේ පිට පිට තෙවැනි සහභාගිත්වය පැමිණෙන විට සිං ඔහුගේ කලින් තිබූ හොඳම දක්ෂතාව මිනිත්තු නවයකින් දියුණු කරගෙන තිබුණා.
2003 වසරේ ටොරොන්ටෝ දියබඩ නගර පෙදෙසේ මැරතන් තරගයේදී සිං ඔහුගේ කාලය පැයක් හා මිනිත්තු පහකින් විස්මිත ලෙස අඩුකර ගත්තේ පැය පහක් සහ මිනිත්තු 40කින් තරගය අවසන් කරමින්.
ෆඋජා සිං ජාත්‍යන්තර කීර්තියට පත්වූයේ අඩිඩාස් ආයතනය ඔවුන්ගේ 2004 Impossible is Nothing ප්‍රචාරක මෙහෙයුමට ඔහුව බඳවා ගැනීමෙන්. මොහමඩ් අලි වැනි පුරාවෘත්තයන් ද මීට ඇතුළත්ව සිටියා.
2005දී, පාකිස්තානයේ අගමැතිවරයා ඔහුට මංගල ලාහෝර් මැරතන් තරගයට සහභාගි වන ලෙසට ආරාධනා කළා. ඊට වසරකට පසුව 2006දී, බකිංහැම් මාලිගයට එන ලෙසට දෙවැනි එලිසබත් රැජනගෙන් ඔහුට විශේෂ ඇරයුමක් ලැබුණා.
පන්ජාබයේ පිහිටි සිංගේ නිවසේ ප්‍රදර්ශනයට තබා ඇති නොයෙකුත් සිහිවටන හා සහතික පත් අතර ඔහු රැජින සමග සිටින රාමු කරන ලද ඡායාරූපයක් ද තිබෙනවා. වයස අවුරුදු 100 වනතුරුම මැරතන්වල දිගටම තරග වැදුනු ඔහු ‘තලප්පාව පැළඳි ටෝනේඩෝව’ නමැති අන්වර්ත නාමය උපයා ගත්තා. තරගවලින් ඔහු උපයා ගත් මුදලින් වැඩි ප්‍රමාණයක් කෙළින්ම ගියේ ත්‍යාගශීලී පදනම්වලට.

2013 වසරේදී සිං ඔහුගේ අවසාන දුර දිවීමේ තරගයට හොංකොං හිදී සහභාගි වෙමින් කිලෝමීටර් 10 දුරැති එම තරගය පැයයි මිනිත්තු 32යි තත්පර 28කින් නිම කළා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







