ඔස්ට්‍රේලියා වේග පන්දු යවන මිචල් ස්ටාක් ඔ්වර 2යි පන්දු 3ක් ඇතුළත කඩුලු පහක් ලබා ගනිමින් ඉතිහාසයේ නව පිටුවක් ලියා තිබෙනවා.
ඔහු මේ දක්ෂතාව වාර්තා කළේ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ජැමෙයිකාවේ පැවති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ.
මේ පළපුරුදු වේග පන්දු යවන්නා මෙසේ පෙලහර පෑවේ ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ඔහුගේ 100 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටියදී වීම විශේෂත්වයක්.

ඔහුගේ කණ්ඩායම් සගයා වන ස්කොට් බෝලෑන්ඩ් ද විස්මිත ‘හැට්-ට්‍රික්’ දක්ෂතාවක් වාර්තා කළ අතර ඔස්ට්‍රේලියානු වේග පන්දු ප්‍රහාරය හමුවේ දැඩි ලෙස අසරණ වූ කොදෙව්වන් මුළු ලකුණු 27කට දැවී ගියා.
එක ටෙස්ට් ඉනිමක සටහන් වූ අඩුම මුළු ලකුණු සංඛ්‍යාවේ නවසිලන්ත වාර්තාව කොදෙව්වන් විසින් බිඳ නොදැමුව ද, ස්ටාක් තමාගේ නමට ලෝක වාර්තාවක් තැබීමට සමත් වුණා. මීට වඩා අඩු පන්දු ප්‍රමාණයකින් කඩුලු 5ක් ලබා ගැනීමට ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනත් කිසිම ක්‍රීඩකයෙක් මෙතෙක් සමත් වී නැහැ.
මීට පෙර වාර්තාව සමව හිමිකර ගෙන සිටියේ 1947 වසරේ ඉන්දියාව ට එරෙහිව පන්දු 19කින් කඩුලු 5ක් ලබා ගත් ඔස්ට්‍රේලියාවේ අර්නි ටොෂැක් සහ තවත් දෙදෙනෙක්. එංගලන්තයේ ස්ටුඅර්ට් බ්‍රෝඩ් (ඔස්ට්‍රේලියාව ට එරෙහිව 2015 වසරේ) හා ඔස්ට්‍රේලියාවේ ස්කොට් බෝලෑන්ඩ් (එංගලන්තය ට එරෙහිව 2021 වසරේ) යන ක්‍රීඩකයන් ද පන්දු 19කින් කඩුලු පහක් ලබා ගෙන තිබෙනවා.
ස්ටාක් සටහන් කළ ලකුණු 9 ට කඩුලු 6 පන්දු යැවීම සමග ඔහු දැන් ෂේන් වෝන්, ග්ලෙන් මැග්‍රාත් සහ නේදන් ලියොන් යන ටෙස්ට් කඩුලු 400ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත් ඔස්ට්‍රේලියානුවන්ගේ සුපිරි ලැයිස්තුවට ඇතුළත්ව සිටිනවා. මේ වමත් පන්දු යවන්නා සතුව දැන් ටෙස්ට් කඩුලු 402ක් තිබෙන අතර ඔහු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ මෙතෙක් වැඩිම ඔස්ට්‍රේලියානු කඩුලුලාභී ලැයිස්තුවේ සිවු වැනි ස්ථානයට පිවිස සිටිනවා.

ටෙස්ට් ඉනිමක වාර්තා වූ අඩුම මුළු ලකුණු සංඛ්‍යාවට වඩා බටහිර ඉන්දීය කොදෙව් පිල ලබා ගත් මුළු ලකුණු 27 වැඩි වී තිබෙන්නේ එක ලකුණකින් පමණයි. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ඉනිමක අඩුම මුළු ලකුණු ප්‍රමාණය ලෙස වාර්තාගතව තිබෙන්නේ 1955 වසරේදී එංගලන්තය විසින් නවසිලන්තය ලකුණු 26කට දවාලීම.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







