ලෝක ප්‍රසිද්ධ පාපන්දු පුරාවෘත්තයක් වන ලයනල් මෙසී බාසිලෝනා කණ්ඩායමට ක්‍රීඩා කරමින් සිටි යුගයේ පැළඳ සිටි අංක 10 කමිසය එම කණ්ඩායමේ තරුණ ක්‍රීඩක ලෙමීන් යමාල් ට උරුමයෙන් ලැබී තිබෙනවා. යමාල් ඔහුගේ 18 වැනි උපන්දිනය සමරා දින කිහිපයක් ගතවෙද්දී මේ උදාර කමිසය උරුම කරගැනීම විශේෂ සිදුවීමක්.
“අපේ අංක 10” යනුවෙන් සටහන් කරමින් බාසිලෝනා පාපන්දු සමාජය යමාල්ගේ වීඩියෝවක් සමාජ මාධ්‍යයේ ප්‍රදර්ශනය කළා. මේ අනුව යමාල් 2025 -26 තරග වාරයේ එම කමිසය පැළඳ ක්‍රීඩා කිරීමට නියමිතයි.
බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජයේදී අංක 10 කමිසය උසුලන්නේ මහා බරක්. ලයනල් මෙසීගේ ක්‍රීඩා දිවිය ඔප කරමින් ඔහු ශූරතා ගණනාවක් බාසිලෝනා වෙනුවෙන් දිනා ගත්තේ මේ කමිසය පැළඳ ක්‍රීඩා කරමින්.

පාපන්දු ක්‍රීඩකයෙකුට ලබා ගත හැකි ඉහළම සම්මානය වන ‘බැලන් ඩෝ’ අට වතාවක් හිමිකර ගත් මෙසී සියලුම තරගාවලියන් හරහා බාසිලෝනා කණ්ඩායම 778 වතාවක් නියෝජනය කළේ ගෝල් 672ක බාසිලෝනා සමාජයීය වාර්තාවක් ද පිහිටුවමින්. ගෝල් ලබා ගැනීමට සහාය වීම් 303ක් ද ඔහුගෙන් සිදුවුනා.
මෙසී බාසිලෝනා සමාජය සමග සිටි වසර 17ක කාලය තුළ ලා ලීගා ශූරතා 10ක් සහ චැම්පියන්ස් ලීග් කිරුළු 4ක් ඇතුළුව ප්‍රධාන ගෞරව 34ක් දිනා ගත්තා.
යමාල්ව බොහෝ අවස්ථාවලදී මෙසී ට සමාන කෙරෙන අතර මෙසී ද ඉහළට පැමිණියේ බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජයේ La Masia යොවුන් ඇකඩමිය හරහා.

පසුගිය තරග වාරයේදී බාසිලෝනා පිලට දේශීය ශූරතා ත්‍රිත්වයක් දිනා ගැනීමට උපකාරී වූ යමාල් එම සමාජය වෙනුවෙන් මේ දක්වා ක්‍රීඩා කළ 100කට වැඩි තරගවලදී ගෝල් 25ක් ලබා ගෙන තිබෙනවා. 2023 වසරේදී ඔහු සිය මංගල තරගයට 15 වැනි වියේ පසුවෙමින් සිටියදී සහභාගි වූයේ අංක 41 කමිසය පැළඳගෙන.
ඉන්පසු අංක 27 කමිසයෙන් තරග වාරයක් ක්‍රීඩා කිරීමෙන් පසුව යමාල් පසුගිය ග්‍රීෂ්ම සෘතුවේදී මෙසීගේ අඩිපාරේ ගියේ එම ආජන්ටිනා සුපිරි තරුව වසර 2005 සිට 2008 දක්වා වකවානුවේ බාසිලෝනා කණ්ඩායම නියෝජනය කළ අංක 19 කමිසය ලබා ගනිමින්.

වර්තමානයේ ඉන්ට මයාමි සමාජයට ක්‍රීඩා කරමින් සිටින මෙසී 2021 වසරේදී බාසිලෝනා සමාජයෙන් ඉවත්ව පැරිස් සැන්-ජමෑන් සමාජයට ගිය අවස්ථාවේදී මෙසීගේ අංක 10 කමිසය උරුමයෙන් අයිති වූයේ අන්සු ෆාටි (Ansu Fati) ක්‍රීඩකයාට.
එහෙත් නොකඩවා ආබාධවලට ලක්වීම හේතුවෙන් බාසිලෝනා කණ්ඩායම වෙනුවෙන් එම කමිසයට හිමි ගෞරවය ලබා දීමට නොහැකි වූ ෆාටි මේ මස මුල මොනාකෝ කණ්ඩායම වෙනුවෙන් තාවකාලික කොන්ත්‍රාත්තුවකට අත්සන් කළා.

අතීතයේදී ඩිඒගෝ මැරඩෝනා, රොනාල්ඩින්හෝ සහ රිවාල්ඩෝ යන අතිශ්‍රේෂ්ඨ පාපන්දු තරු බාසිලෝනා අංක 10 කමිසය පැළඳ තිබෙනවා.
ලෙමීන් යමාල් පසුගිය සතිඅන්තයේ පැවති ඔහුගේ 18 වැනි උපන්දින උත්සවයට විනෝදය සැපයීම පිණිස කුරු පුද්ගලයන්ගේ කණ්ඩායමක් යොදා ගනිමින් මාධ්‍ය සිරස්තල නිර්මාණය කළා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







