වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ (MCA) මේ වසරේ ප්‍රධාන තරගාවලියන් තුනට අවශ්‍ය ක්‍රිකට් පන්දු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා දී තිබෙනවා.
මේ අනුව 2025 සුපර් ප්‍රිමිය, ප්‍රිමිය ලීගය හා ‘සී’ කොටසේ ලීගය යන ඔ්වර 50 තරගාවලියන් තුන සඳහා සුදු පැහැති පන්දු 622ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ වෙළඳ සේවා ක්‍රිකට් සංගමයට පිරිනැමුවා.
වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන තරගාවලියන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පන්දු ලබා දෙන්නේ 2017 වසරේ සිට වූව ද ඔවුන් එය ප්‍රසිද්ධ කළේ ප්‍රථම වතාවට.
ලීග්, පිළිමළුන් පිටුදැකීම හා විස්සයි20 අදියරවලින් සමන්විතව සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා පැවැත්වෙන සුපර් ප්‍රිමිය ලීගය යටතේ තරග 50ක් ක්‍රීඩා කෙරෙන අතර ඊට කණ්ඩායම් 10ක් සහභාගි වනවා. මේ සඳහා අවශ්‍ය පන්දු ප්‍රමාණය 240ක්.
ජූලි සිට සැප්තැම්බර් දක්වා පැවැත්වෙන ප්‍රිමිය ලීගයට ද කණ්ඩායම් 10ක් සහභාගි වන අතර එහි තරග 50කට අවශ්‍ය පන්දු සංඛ්‍යාව 190ක්.
කණ්ඩායම් 12ක සහභාගිත්වයෙන් දැන් ආරම්භ වී අගෝස්තු දක්වා පැවැත්වෙන ‘සී’ කොටසේ ලීග් තරගාවලියට තරග 35ක් ඇතුළත්ව තිබෙන අතර ඊට පන්දු 192ක් අවශ්‍ය වනවා.
මේ තරග සඳහා ලබා දී තිබෙන්නේ Grays Cavalier සුදු පන්දු. එක් පන්දුවක මිල රුපියල් පන්දහසක්.

වෙළඳ සේවා ක්‍රිකට් සංගමයට ක්‍රියාකාරී ආයතන 160ක් සිටින බවත් එහෙත් වියදම් දැරීමේ නොහැකියාව මත කණ්ඩායම් 40ක් පමණ පසුගිය තරගාවලියන්ට සහභාගි නොවූ බවත් වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ සභාපති මහේෂ් ද අල්විස් මහතා එම සංගමයේදී ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේ කියා සිටියා.
වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ පාලන විධිය, ව්‍යුහය සහ ක්‍රිකට් සංස්කෘතිය කෙරෙහි විශ්වාසය තබා ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය වසර ගණනාවක් තිස්සේ තම සංගමයේ නොසැලෙන ආධාරකරුවකුව සිටින බව ඒ මහතා ප්‍රකාශ කළා.
ෂම්මි සිල්වා මහතාගේ නායකත්වය යටතේ වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලබා දෙන සහයෝගය ස්ථිර හා සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන්නක් වී ඇති බව ඒ මහතා පෙන්වා දුන්නා.
“වසර තුනකට පෙර, අපේ ගෘහස්ථ නෙට් යල්පිනූ ඒවා බවට පත්ව දියුණු කිරීමක් අවශ්‍යව තිබුනා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ත්‍යාගී ආධාරයට ස්තූතිවන්ත වන්නට, අපට දැන් නවීන ගෘහස්ථ ක්‍රීඩාංගණයක පිහිටුවා ඇති ඉහළම පෙලේ ගෘහස්ථ පුහුණු තීරු හතරක් තියෙනවා.”

“පසුගිය වසරේදී අපි, බොහෝ කලක පටන් කළ යුතුව තිබූ පිටිය අලුත්වැඩියා කිරීමකට අතගැසුවා. ඒ නිසා ක්‍රීඩා කිරීමේ තත්ත්වයන් සැලකිය යුතු තරමින් වර්ධනය වී තිබෙනවා. මෙය ඉතාමත් වැදගත් වෙන්නේ වෙළඳ සේවා ක්‍රිකට් ආයතනය තරග 500කට වැඩි ප්‍රමාණයක් වාර්ෂිකව පවත්වන නිසා.”
“මේ වර්ෂයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහාය ඇතිව අපි සෝලා පවර් සවි කිරීමේ ව්‍යාපෘතියක් සාර්ථකව සම්පූර්ණ කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අපි දැන් අපේ විදුලිය වියදම සියයට 75කින් ඉතිරි කර ගන්නවා.”
“දැන් අද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපේ ‘ඒ’, ‘බී’ හා ‘සී’ කොටස්වල තරගාවලියන් සඳහා පන්දු ලබා දෙනවා. මේ පරිත්‍යාගයෙන් අපේ ප්‍රධාන මුදල්මය බර අඩුවී අපේ ලීගවලට සහභාගි වන ක්‍රීඩකයන්ට යහපතක් සිදුවනවා” යැයි මහේෂ් ද අල්විස් මහතා වැඩිදුරටත් සඳහන් කළා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් බන්දුල දිසානායක, ජාතික ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී චින්තක එදිරිමාන්න සහ වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ ලේකම් රොහාන් සෝමවංශ, උපභාණ්ඩාගාරික හා අනුග්‍රාහකත්ව කමිටුවේ සභාපති හසිත දසනායක යන මහත්වරු ද මේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වුනා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







