ස්ලොවේනියාවේ වෘත්තීය පාපැදි ධාවක ටඩෙයි පොගාචාර් (Tadej Pogacar) ප්‍රංශ සවාරිය මහා පාපැදි තරගයේ ඔහුගේ සිවු වැනි ජයග්‍රහණය
ඊයේ (ඉරිදා) හිමිකර ගත්තේ ලෝක පාපැදි තරග බිමේ බිහිවූ එක් ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයෙකු ලෙස ඔහුට තිබෙන තත්ත්වය තවදුරටත් ස්ථිර කරමින්. මේ ජයග්‍රහණයෙන් පසුව ප්‍රංශ සවාරිය (Tour de France) තරගයේ සමස්ත ජයග්‍රහණ පහේ වාර්තාව සමග සමවීමට පොගාචාර් ට අඩුව තිබෙන්නේ තවත් එක් ජයග්‍රහණයක් පමණයි.
සති තුනක් තිස්සේ පැවති තරගයේ තියුණු අවසන් අදියරේදී පොගාචාර් පැරිසියේ ෂොන්ස් එලීසේ (Champs-Elysees) නමැති ජනප්‍රිය මාවතේදී ආරක්ෂිතව අවසන් රේඛාව පසුකළේ නොකඩවා දෙවැනි වරටත් කහ ජර්සිය ඔහු ජයග්‍රහණය කළ බව තහවුරු කරමින්.

ඔහු තරගයේ අවසන් අදිර පවා ජය ගැනීමට උත්සාහ කරමින් තීරණාත්මක ධාවනයකට පිවිසිය ද, අවසානයේ බෙල්ජියමේ Wout van Aert වඩාත් ශක්තිමත් බවක් ප්‍රදර්ශනය කරමින් ඔහුට වඩා ඉදිරියෙන් තරගය නිම කළා.
තරගයේ සමස්ත වර්ගීකරණයේදී පොගාචාර් ඔහුගේ විශිෂ්ට ප්‍රතිවාදියා වන ඩෙන්මාර්කයේ යෝනස් විංගගෝ (Jonas Vingegaard) ට මිනිත්තු 4යි තත්පර 24කට කලින් තරගය අවසන් කර තිබුනා. ප්‍රංශ සවාරිය දෙවතාවක් ජයගෙන ඇති විංගගෝ විශේෂයෙන් තෙවැනි සතිය ඇතුළුව තරගය පුරාම පොගාචාර් ට නිරතුරුවම අභියෝග එල්ල කළ ද පොගාචාර්ගෙන් මිදී ඉදිරියට යාමට ඔහුට හැකිවුනේ නැහැ.
ජනප්‍රිය Mont Ventoux කඳු බෑවුමේදී දෙදෙනා අතර මිලිමීටරයක දිවා එළියක් විවර වූ තත්පරය හැරෙන්නට, පොගාචාර් පහසුවෙන්ම විංගගෝ සිදුකළ සෑම ආක්‍රමණයක් සමග ම කරට කර සිටීමට සමත් වුනා.
තරගයේ පළමු සති දෙකේදී හැම බිම් පෙදෙසක ම තමා බලවත් බව ඔප්පු කළ පොගාචාර් අදියර හතරක් ජය ගනිමින් තමාගේ කහ ජර්සියේ ග්‍රහණය තදකර ගත්තා.
1990 වසරේදී අමෙරිකාවේ Greg LeMond ට පසුව ලෝක ශූරයාව සිටියදී ප්‍රංශ සවාරිය ජයග්‍රහණ කළ පළමුවැන්නා බවට පොගාචාර් දැන් පත්ව සිටිනවා.
පොගාචාර්ගේ සිවු වැනි ප්‍රංශ සවාරිය පාපැදි කිරුළෙන් පසුව එදා මෙදා තුර ලැයිස්තුවේ ඔහු ඉදිරියෙන් සිටින්නේ මේ තරගය පස්වතාවක් ජයග්‍රහණය කර ඇති Jacques Anquetil, Eddy Merckx, Bernard Hinault සහ Miguel Indurain පමණයි. ලාන්ස් ආම්ස්ට්‍රෝං (Lance Amstrong) ප්‍රංශ සවාරිය හත් වරක් ජය ගත්ත ද ඔහු තහනම් ශරීර උත්තේජන භාවිතා කළ බවට 2012 වසරේ පිළිගැනීමෙන් පසුව එම ශූරතා ඔහුගෙන් ඉවත් කෙරුනා.
තරගයේ සමස්ත කාල වර්ගීකරණයේදී විංගගෝ හැරුනු විට පොගාචාර්ගේ කාලයට මිනිත්තු 10ක් ඇතුළත වෙනත් කිසිම කෙනෙක් තරගය අවසන් කර තිබුනේ නැහැ.
ජර්මනියේ Florian Lipowitz, පොගාචාර් ට වඩා මිනිත්තු 11ක් පිටුපසින් සිට තෙවැනි ස්ථානයට පත්ව හොඳම යොවුන් පාපැදි ධාවකයාට පිරිනැමෙන සුදු ජර්සිය හිමිකර ගත්තා. මේ අතර, ඉතාලියේ Jonathan Milan තරගයේ හොඳම වේග ධාවකයා විසින් නිතර පළඳිනු ලබන කොළපැහැ ජර්සිය ජය ගත්තා. තරගයේ හොඳම කඳු නගින්නාට හිමි පොල්කා-තිත් සහිත ජර්සිය දිනා ගත්තේ ටඩෙයි පොගාචාර්.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







