අමෙරිකානු පාපන්දු ක්‍රීඩා කිරීමෙන් අත්විඳින්නට සිදුවූ මානසික ආබාධයන්ගෙන් පළිගැනීම සඳහා එම ක්‍රීඩාවේ මූලස්ථානය පිහිටි මෑන්හැටන් නගරයේ අහස සූරන ගොඩනැගිල්ලකට කඩාවැදී පුද්ගලයන් සිවු දෙනෙකු ඝාතනය කළ තුවක්කුකරුවා වැරදි සෝපානයක් භාවිතා කිරීම හේතුවෙන් ගොස් තිබෙන්නේ ඔහු ඉලක්ක කරගෙන සිටි ස්ථානයට නෙවෙයි.
එක්සත් ජනපදයේ වෘත්තීය අමෙරිකානු පාපන්දු ලීගය (NFL – National Football League) ඔවුන්ගේ මූලස්ථානය පවත්වා ගෙන යන නිව්යෝක් නගර මධ්‍යයේ පිහිටි ගොඩනැගිල්ලට ඇතුළු වූ ලාස් වේගාස් පදිංචිකරුවෙකු වන 27 හැවිරිදි ෂේන් ටමුරා (Shane Tamura) හතර වටේට වෙඩි තැබීමෙන් පසුව ඔහු ට ම වෙඩි තබාගෙන මිය ගිය ද ඔහු ගොස් තිබුනේ එම ලීග් මූලස්ථාන කාර්යාලයට නොව ගොඩනැගිල්ලේ වෙනත් පැත්තකට.
CTE (Chronic Traumatic Encephalopathy) නමැති හිසේ කම්පනයෙන් හටගන්නා මොළයේ ආබාධය තමාගේ මානසික රෝගයට හේතුව බවට චෝදනා කරන කුඩා ලිපියක් මේ තුවක්කුකරු ඔහුගේ පසුම්බියේ රැගෙන ගොස් තිබෙනවා. ක්‍රීඩකයන් ගැටෙන ක්‍රීඩාවන්ට සම්බන්ධ මොළයේ ආබාධවලින් සිදුවන අනතුරු NFL විසින් වසන් කරන බවට ඔහු චෝදනා කර තිබුනා. නිතර නිතර හිසට පහර වැදීමෙන් හටගන්නා මේ රෝගය ක්‍රීඩකයන් එකිනෙකා ඝට්ටනය වන ක්‍රීඩාවන්හි නියුතු ක්‍රීඩකයන් අතර දක්නට ලැබෙන ආබාධයක්.
“කරුණාකර මගේ මොළය පරීක්ෂා කරන්න” යැයි ටමුරා විසින් සඳහන් කර ඇති ලිපිය අවසන් වන්නේ “මට සමාවෙන්න” යනුවෙන්.
ටමුරා කැලිෆෝනියාවේ ඔහුගේ පාසල් දිවියේදී අමෙරිකානු පාපන්දු ක්‍රීඩකයෙකුව සිටිය ද, ඔහු NFL ක්‍රීඩා කර නැහැ. ඔහු රැකියාව කරමින් සිටියේ Horseshoe Las Vegas නමැති කැසිනෝ නිකේතනයේ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ.
නිව්යෝක් ගොඩනැගිල්ලේ ආරක්ෂකයෙකු ලෙස සේවය කරමින් සිටි 36 හැවිරිදි නිව්යෝක් පොලිස් නිලධාරියෙකු සහ බ්ලැක්ස්ටෝන් නමැති මූල්‍ය ආයතනයක සේවිකාවක ද මේ වෙඩි ප්‍රහාරයෙන් මිය ගොස් තිබෙනවා. මීට අමතරව තවත් පිරිමි පුද්ගලයන් දෙදෙනෙකුට ද ජීවිත අහිමි වී තිබෙන අතර NFL සේවකයෙක් බරපතල තුවාල ලබා සිටිනවා.
පාක් මාවතේ පිහිටි ගොඩනැගිල්ලේදී ටමුරා වෙඩි තබමින් පළමුව මරා දැමුවේ පොලිස් නිලධාරියාව බවට විශ්වාස කෙරෙනවා. 36 හැවිරිදි පියෙකු වන ඔහු ඩිඩාරුල් ඉස්ලාම් (Didarul Islam). බංග්ලාදේශයේ සිට අමෙරිකාව ට සංක්‍රමණය වූ ඉස්ලාම් දෙදරු පියෙකු වන අතර ගැබ්බරව සිටින බිරිඳ සමග තෙවැනි දරුවා බලාපොරොත්තුවෙන් සිටි බව වාර්තා වනවා.
තුවක්කුකරු අමෙරිකාව හරහා රිය පදවමින් ලාස් වේගාස් සිට නිව්යෝක් නගරයට පැමිණ ප්‍රහාරක ශෛලියේ රයිෆලයක් මේ ඝාතනයට උපයෝගී කරගෙන ඇතැයි පැවසෙනවා.
අංක 345 දරණ පාක් ඇවනිව් ගොඩනැගිල්ලට පිටතින් සඳුදා පස්වරු 6.30 ට පමණ ඔහුගේ BMW රථය නතර කළ ටමුරා ලොබියට ඇතුළු වීමෙන් පසුව වෙඩි තබමින් ඉස්ලාම් හා එම ගොඩනැගිල්ලේ වැඩි පෙදෙසක කාර්යාල පවත්වා ගෙන යන Blackstone ආයෝජන ආයතනයේ සේවය කරන ඉඩම්කඩම් විධායක නිලධාරිනියක් මරා දැමුවා. ඉන්පසු ටමුරා නොනවත්වා වෙඩි තබමින් විදුලි සෝපාන තිබෙන කොටසට යන අතරතුර NFL සේවකයෙකුට හා සෝපානය ක්‍රියාත්මක කරමින් සිටි නිරායුධව ආරක්ෂක නිලධාරියෙකුට වෙඩි තැබුවා.

අනතුරුව, ඊළඟ සෝපානය ලොබියට එනතුරු ටමුරා බලා සිටියා. කාන්තාවකට අනතුරකින් තොරව එයින් පිටව යාමට ඉඩ සැලසූ ඔහු සේපානයට ඇතුළු වී 33 වැනි මහලට ගියා. එහිදී Rudin Management කාර්යාල සේවකයෙකු මරා දැමූ ටමුරා ඉන්පසුව ඔහු දෙසට තුවක්කුව හරවා ගෙන වෙඩි තබා ගත්තා.
තුවක්කුකරු මේ ගොඩනැගිල්ල අයත් රුඩින් කළමනාකාරිත්වයේ කාර්යාලයට ගියේ වැරදීමකින් බවට මූලික පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







