දිවයිනේ දක්ෂතම හොකී කණ්ඩායම් නවයක් සහභාගි වන ශ්‍රී ලංකාවේ වසරේ දැවැන්තම හොකී තරගාවලිය ලෙස සැලකෙන ශ්‍රී ලංකා ප්‍රිමිය හොකී ලීගයේ - Premier Hockey League (PHL) Sri Lanka - දෙවැනි අදියර නොවැම්බර් මස පළමු සතියේ ආරම්භ වනවා.
ශ්‍රී ලංකා පොලිසිය, යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, බී.ආර්.සී., සී.එච් ඇන්ඩ් එෆ්.සී., සී.ආර්. ඇන්ඩ් එෆ්.සී., ආදි සේනානායක ක්‍රීඩා සමාජය හා රාජකීය විදුහල් හොකී සමාජය මේ තරගාවලියට සහභාගි වීමට නියමිතයි.
ශ්‍රී ලංකා හොකී සම්මේලනය හා ක්‍රීඩා අමාත්‍යංශයේ සහයෝගය ඇතිව මෙම PHL 2025 තරගාවලිය සංවිධානය කරන්නේ Nextgen Hockey Development Society ආයතනය.
මේ තරගාවලිය කොළඹ සහ මාතලේ යන නගර දෙකේම පැවැත්වෙන අතර ශ්‍රී ලාංකික හොකී ක්‍රීඩාවේ අනාගතය ශක්තිමත් කිරීමේ අරමුණින් ඉදිරියේදී අන්තර් ජාතික මට්ටමෙන් තරග කිරීමට හැකි ක්‍රීඩකයන් බිහිකිරීම හා පුහුණු කිරීම සඳහා ක්‍රීඩා කෞශල්‍යයන්ගෙන් පරිපූර්ණ නව කණ්ඩායමක් හඳුන්වා දීමට මෙවර සැලසුම් කර ඇතැයි සංවිධායකයින් පවසනවා.
PHL තරගමාලාවේ පළමු අදියර සඳහා ඉන්දියාව හා පාකිස්තානයේ ජාතික කණ්ඩායම් නියෝජනය කළ ක්‍රීඩකයන් ඇතුළු ප්‍රමුඛ ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගි වුනා. මේ වසරේදී ද, ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා සහ අත්දැකීම් සහිත ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. පළමු අදියර වෙනුවෙන් ආයෝජකයන් සහ හිටපු ක්‍රීඩකයන්ගෙන් හා ක්‍රීඩා ලෝලීන්ගෙන් ලැබුනු දායකත්වයට සංවිධායකයන් ඔවුන්ගේ ගෞරව ප්‍රණාමය පුද කරනවා.

මේ පිළිබඳ මාධ්‍ය හමුවක් Nextgen Hockey Development Society සභාපති කමල් පුෂ්පකුමාර සහ IOC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඩිපක් ඩාස් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







