ඊශ්‍රායලය ට එරෙහිව පැවැත්වෙන 2026 ලෝක කුසලාන පාපන්දු සුදුසුකම් ලැබීමේ තරගයෙන් ලැබෙන මුළු ලාභය ගාසා තීරය වෙනුවෙන් තිබෙන තම මානව හිතවාදී ප්‍රතිපත්තියට පරිත්‍යාග කරන බවට නෝවේ දේශය ප්‍රකාශ කර තිබෙනවා.
මේ රටවල් දෙක ඔක්තෝබර් 11 වැනිදා ඔස්ලෝ නුවරදී තරග වැදීමට නියමිතයි.
තරග හතර ම ජයගෙන සිටින නෝවේ වර්තමානයේ සුදුසුකම් ලැබීමේ තරග වටයේ ‘එච්’ කොටසේ මුදුනට පිවිස සිටිනවා. ඊශ්‍රායලය තරග තුනකින් පසුව ලකුණු හයක් ලබා ගෙන පසුවන්නේ දෙවැනි ස්ථානයේ.
ඉතාලිය ලකුණු තුනක් ලබා ගෙන සිටින්නේ තෙවැනි ස්ථානයේ. එහෙත් ඔවුන්ට තවත් තරග දෙකක් ඉතිරිව තිබෙන බැවින් ලෝක කුසලාන තරගාවලිය සඳහා මේ කොටසෙන් ඉබේ සුදුසුකම් ලබන කණ්ඩායම් කුමක්දැයි තීරණය වීමේදී ඔස්ලෝ තරගයේ ප්‍රතිඵලය අතිශය වැදගත් වීමට ඉඩ තිබෙනවා.

මේ දක්වා වන නෝවේ සාර්ථකත්වයට ජූනි මාසයේදී ඉතාලිය ට එරෙහිව ලබා ගත් 3-0 ජයග්‍රහණය හා මාර්තු මාසයේ ඊශ්‍රායලය ට එරෙහි පළමු තරගයේදී වාර්තා කළ 4-2 ජයග්‍රහණය ඇතුළත්.
ඔක්තෝබර් 11 වැනි දින තරගය සඳහා වන ප්‍රවේශ පත් අලෙවිය ආරම්භ වී තිබෙන මේ අවස්ථාවේ, තරගයෙන් ලැබෙන සියලුම ආදායම ගාසා තීරයේ පිහිටි පලස්තීන කලාපයේ මානව සුභ සාධන කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කරන බවට සත්කාරක නෝවේජියානු පාපන්දු සම්මේලනය නිවේදනය කර තිබෙනවා.
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර යුද්ධය 2023 ඔක්තෝබරයේ ආරම්භ වීමෙන් පසුව මේ දක්වා ගාසා හි පුද්ගලයින් 80,000කට වැඩි පිරිසක් මරුමුවට පත්ව ඇතැයි ගණන් බලා තිබෙන අතර ළමයින් 17,000ක් ද මීට ඇතුළත්ව සිටිනවා.

මේ කලාපයේ තිබෙන තත්ත්වය ඉතාමත් කටුක බවට විස්තර කර තිබෙන අතර එහි තිබෙන ආහාර හිඟය සහ මන්දපෝෂණය ඉතාමත් උග්‍ර බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබෙනවා.
වර්තමාන තත්ත්වය ‘අපේ ඇස් ඉදිරියේ දිගහැරෙන මහත් ව්‍යසනයක්’ ලෙස විස්තර කරන එම සංවිධානය ගාසා තීරයට මානවවාදී ආධාර වැඩියෙන් ඇතුළු වීමට ඉඩදීමේ දැඩි අවශ්‍යතාව පෙන්වා දී තිබෙනවා.
දැන්, නෝවේජියානු පාපන්දු සභාපති Lise Klaveness මෙසේ ප්‍රකාශ කරනවා: “දීර්ඝ කාලයක් තිස්සේ ගාසා ප්‍රදේශයේ සිවිල් ජනගහණය පීඩා විඳිමින් සිටින යුදමය ප්‍රහාර සහ මානවවාදී වේදනාවන් පිළිබඳව අපට හෝ අනෙක් සංවිධානවලට ඇස් කන් පියාගෙන ඉන්න බැහැ.”
Lise Klaveness
“ඊශ්‍රායලය ජගත් පාපන්දු සම්මේලනයේ (FIFA) හා යුරෝපීය පාපන්දු සංගමයේ (UEFA) තරගාවලියන් හි කොටසක් වන නිසා අපට ඒ කාරණයත් එක්ක ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා. නමුත් මේ තරගයෙන් ලැබෙන ආදායම ගාසා තීරයේ දිනපතා ජීවිත බේරා ගනු ලබන සහ එම භූමියේ හදිසි ආධාර සපයන ක්‍රියාකාරී සංවිධානවලට ලබා දෙන්න අපට අවශ්‍යයි.”
මේ සම්බන්ධයෙන් ඊශ්‍රායල පාපන්දු සංගමය දැන් පරුෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
“අපේ අභිමානි ජාතික කණ්ඩායමට එරෙහි තරගයකට ස්තූතිවන්ත වන්නට උපයා ගන්නා ආදායමත් ඇතුළත්ව තරගවලින් ලැබෙන ආදායම පාවිච්චි කිරීම ගැන අපි සාමාන්‍යයෙන් සංවිධානවලට උපදෙස් දෙන්නේ නැහැ. නමුත් අපි මේ වතාවේ අපේ ඒ සිරිතෙන් පිට පනින්නම්.”

“හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල් වැසියන් හා ළමයින් සිය ගණනකගේ ජීවිත බිලිගත් ඔක්තෝබර් 7 සමූල ඝාතනය පිළිබඳව අප්‍රසාදය පළ කිරීමට මාර්ගයක් සොයා ගැනීමට හෝ ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගෙන සිටින ඊශ්‍රායල් පුද්ගලයන් මුදවා ගැනීමට පක්ෂව ක්‍රියා කිරීමට හෝ නෝවේජියානු පාපන්දු සම්මේලනය ඔය මුදලෙන් කොටසක් යොදවනවා නම් හොඳයි.”
“තවද කරුණාකර, ඔය මුදල් ත්‍රස්තවාදී සංවිධානවලට නොලැබෙන බවට ද සහතික කරගන්න!”
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







