ලොව ඉහළම පෙලේ ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අමෙරිකානු විවෘත තරගාවලියේ සටන් කරද්දී එම තරග පැවැත්වෙන නිව්යෝක් නගරයේ ෆ්ලෂිං මෙඩෝස් (Flushing Meadows) උද්‍යාන පෙදෙසේ තවත් යුද්ධයක් දිග ඇරෙමින් තිබෙනවා. ඒ, තිත් සහිත ලැන්ටන්ෆ්ලයිස් (spotted lanternflies) නමැති රාගික මැස්සන්ගේ ආක්‍රමණය.
දැන් උදාවී තිබෙන්නේ මේ මැස්සන් සංවාසයෙහි යෙදෙන කාලය නිසා මේ කෘමීන් නිව්යෝක් ප්‍රාන්තයේ ජනපද 62න් 29ක් හරහා ව්‍යාප්තව සිටිනවා. ෆ්ලෂිං මෙඩෝස් තරග බිම ද ආක්‍රමණය කිරීමේ තර්ජනයක් ඇති බැවින් මේ මැස්සන් දුටු තැන පාගා මරා දමන ලෙසට ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම ක්‍රීඩා ලෝලීන් ට ද දන්වා තිබෙනවා.
පසුගිය වසරේ සිදුවූ මේ මැසි ජනගහණයේ අඩුවීමකින් පසුව මේ මැස්සන් දැන් නිව්යෝක් නගරය හරහා යළි නැගී සිටීමක් ආරම්භ කර තිබෙනවා. මේ කෘමීන්ගේ අගෝස්තු පසු කාලයේ සිට සැප්තැම්බර් දක්වා වන බෝ කිරීමේ සමය අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලිය පැවැත්වෙන කාලය සමග සමාන වී ඇති බැවින් තරගවලට සිදුවිය හැකි බාධාවන් සම්බන්ධයෙන් සංවිධායකයන්ගේ අවධානය යොමුව තිබෙනවා. තරගාවලිය පැවැත්වෙන්නේ ද අගෝස්තු 18 සිට සැප්තැම්බර් 8 දක්වා වන කාලවකවානුවේ.

“කවුරු හරි මේ කෘමියෙක් දුටුවොත්, පළමුව එහි පිංතූරයක් ගෙන දෙවනුව පාගා මරා දමන ලෙසට අප ඉල්ලා සිටිනවා” යනුවෙන් ව්‍යාප්ත වන කෘමීන් පිළිබඳ විශාරදයෙකු වන කෝනල් සරසවියේ Brian Eshenaur පවසනවා.
ශාක යුෂ උරා බොමින් වගාව සම්පූර්ණයෙන්ම විනාශ කරන මේ මැස්සන් ජනතාවගේ එළිමහන් ජීවිතයට හා විනෝදයට මහත් කරදරයක්. නිව්යෝක් හි සිවුවැනියට විශාල මහජන උද්‍යානය තිබෙන ෆ්ලෂිං මෙඩෝස්, මේ කෘමීන්ට ශක්තිමත්ව වැඩීමට අවශ්‍ය පරිපූර්ණ පාරිසරික තත්ත්වයන් සපයා දෙනවා. මේ ස්ථානය පුරා පැතිරුණු තණ නිල්ල නිසා තරගාවලිය පැවැත්වෙන දෙසති කාලය තුළ මේ මැස්සන් විශාල ලෙස තරග පෙදෙසට ආකර්ෂණය වීමේ හැකියාව තිබෙනවා.
වෘත්තීය ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැනටමත් මේ කෘමීන් පාලනය කිරීමේ ක්‍රියාවන් දැක තිබෙනවා. ලැන්ටන්ෆ්ලයි කෘමීන් 2024 තරගාවලියේ තරගවලට බාධා කර තිබුනා. ෆ්‍රැන්සස් ටියාෆෝ සහ ග්‍රිගොර් ඩිමිට්රොව් අතර පැවති තරගයේදී එම ක්‍රීඩකයන් දෙදෙනාට පමණක් නොව තරග පිටිය පසෙකින් සිටිමින් බෝල අහුලන ‘බෝල් බෝයි’ කෙනෙකුට ද මේ මැස්සන් පාගා පොඩිකර මරා දැමීමට සිදුවුනා.

ජූලි මාසයේ පැවති වොෂිංටන් විවෘත තරගාවලියේදී මාරියා සකාරි මේ මැස්සෙකුගේ ජීවිතය බේරා ගැනීමට උත්සාහ කළත් ‘බොල් බෝයි’ ඌව පාගා දැමුවේ ලැන්ටන්ෆ්ලයි මැස්සන්ට මුහුණ දෙන විට ප්‍රතිචාර දැක්වීමේ උපදෙස් ප්‍රදර්ශනය කරමින්.
මේ අනුව, තමන්ගේ තරගවලට බාධා කරන මේ මැස්සන් පාගා පොඩි කිරීම සඳහා තමන්ගේ අලුත්ම අනුග්‍රාහක සපත්තු පාවිච්චි කිරීමට සිදුවනු ඇති බවට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දන්වා තිබෙනවා.

(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







