ඔලිම්පික් බොක්සිං ඉතිහාසයේ වඩාත්ම මතභේදාත්මක මොහොතක් සනිටුහන් වෙමින් අමෙරිකාවේ රෝයි ජෝන්ස් (කණිෂ්ඨ)ගෙන් උදුරා ගත් රන් පදක්කම වසර 36කට පමණ පසුව
ඔහුට ලබා දීමට එදා සිය රටට හිතවත් තරග විනිසුරුවන්ගේ ආධාරයෙන් එම පදක්කම දිනා ගත් දකුණු කොරියාවේ පාක් සි හන් කටයුතු කර තිබෙන්නේ බොහෝ කලක් ප්‍රමාද වීමෙන් පසුව හෝ ක්‍රීඩාශීලිත්වය ප්‍රදර්ශනය කරමින්.
1988 වසරේ සෝල් අගනුවර පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී පාක් විනිසුරුවන්ගේ 3-2ක තීරණයකින් ජෝන්ස් පරාජය කළේ අමෙරිකානුවා එම ලයිට් - මිඩ්ල්වේට් තරගය පුරාම ඔහුගේ ආධිපත්‍යය පවත්වා ගෙන ගොස් තිබියදී සහ බොහෝ දෙනා ඔහු සැබෑ ජයග්‍රාහකයා බවට විශ්වාස කර තිබියදී.
අනෙක් බොහෝ දෙනා මෙන් පාක් ද එම තීරණය පිළිබඳව සැකයෙන් සිටි අතර තමා එම රන් පදක්කම දිනා ගැනීමට සුදුසු නැති බව බොහෝ කලක සිට ඔහුගේ සිතට වද දුන් කාරණයක් වී තිබුණා. දැන්, එම තරගයෙන් දශක තුනකටත් වැඩි කාලයක් ගෙවී යාමෙන් පසුව පාක් එම රන් පදක්කම ඔහුගේ ප්‍රතිවාදියාට ලබා දී තිබෙනවා.

මේ සිද්ධිය මීට වසර දෙකකට පෙර සිදුව තිබුන ද එය අනාවරණය වූයේ මෑතකදී එළිදැක්වුනු වීඩියෝවකින්. පදක්කම ලබා දීම පිණිස පාක් ෆ්ලොරිඩා හි පෙන්සකෝලා පෙදෙසේ ඇති 56 හැවිරිදි ජෝන්ස්ගේ රාන්චියට පැමිණි අවස්ථාව ජෝන්ස් (කණිෂ්ඨ) ඔහුගේ යූටියුබ් චැනලයේ පෝස්ට් කර තිබෙනවා.
“එදා ඔහු රන් පදක්කම දිනා ගත්තා. ඒ පදක්කම මෙච්චර කාලයක් තිබුනේ එයා ළඟ. නමුත් එයාට දැන් ඕන කරන්නේ ඒක නැවත ඔයාට දෙන්නයි” යනුවෙන් පාක්ගේ පුතා ඉංග්‍රීසි භාෂාවන් වීඩියෝවේ පැහැදිලි කර දෙනවා. “ඒක අයිති ඔයාටයි.”
ජෝන්ස් ‘ඉන්ස්ටග්‍රෑම්’ වේදිකාවේ මෙසේ සටහන් කර තිබෙනවා:
“1988 වසරේදී, බොක්සිං ඉතිහාසයේ ලොකුම මතභේදාත්මක සිදුවීමකදී රන් පදක්කම මගෙන් සොරා ගැණුනා.”
“නමුත් දේව ප්‍රසාදයෙන්, මීට අවුරුදු දෙකකට පෙර, ඒ පදක්කම දිනා ගත් පුද්ගලයා දකුණු කොරියාවේ සිට මගේ නිවසට ඇවිත් මට ඒක නැවත ලබා දුන්නේ ඒ පදක්කමේ සැබෑ හිමිකාරයා මා බවට ඔහුට හැඟුනු නිසා.”
කොරියානු භූමියේ පැවති එම තරගයේ විනිසුරුවන්ට එරෙහිව නගා තිබූ අල්ලස් චෝදනා ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නැති බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව 1997 වසරේදී තීරණය කළ.
කෙසේ වෙතත්, රෝයි ජෝන්ස් (කණිෂ්ඨ) ට එම ඔලිම්පික් උළෙලේ සියලු බර පංති හරහා හොඳම බොක්සිං ක්‍රීඩකයාට ලබා දෙන Val Barker කුසලානය පිරිනැමුනා.

ක්‍රීඩකයෙකුගේ බර ප්‍රමාණය නොසලකා හැර දක්ෂතාව මත පමණක් හොඳම බොක්සිං ක්‍රීඩකයා බවට පත්වූ එදා මෙදා තුර එක් විශිෂ්ටතම ක්‍රීඩකයෙක් ලෙසින් ජෝන්ස් පසුව ශ්‍රේණිගත වූයේ බර පංති හතරක ලෝක ශූරතා දිනා ගනිමින්.
පාක් ගුරුවරයෙක් බවට පත්ව පසුව බොක්සිං පුහුණුකරුවෙක් වුනා. ජෝන්ස් සමග පැවති තරගයේ ජයග්‍රහණය තමන්ට ලැබීමට සුදුසු නැති බව ඔහු සැමවිටම දැරූ මතය වී තිබුණා.
“අනුකම්පා රහිත අප්‍රසාදයක් මා තුළ ගොඩනැගී තිබෙනවා. මම ඒක මගේ ජීවිතයේ ඉතිරි කාලය පුරාම රැගෙන යාමට ඉඩ තිබෙනවා” යනුවෙන් පාක් 2020 වසරේදී කියා සිටියා.
“ඒ තරගය අවසානයේ මගේ අත ඔසවනවා දකින්න මට ඕන වුනේ නැහැ. නමුත් එය එසේ වුනා. ඒ හේතුවෙන් මගේ ජීවිතය මලානික වුනා!”

(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







