එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දැන් පැවැත්වෙන 2025 ආසියානු කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාව සහභාගි වන්නේ
එම තරගාවලියේ වර්තමාන ශූරයින් ලෙස.
ඒ අනුව මෙවර තරගාවලියේදී ශූරතාව රැක ගැනීමට ක්‍රීඩා කරන කණ්ඩායම වී සිටින්නේ ඉන්දියාව නොව ශ්‍රී ලංකාව.

2023 වසරේ පැවති මීට පෙර ආසියානු කුසලාන තරගාවලියේ ජයග්‍රාහකයන් වූයේ ඉන්දියාව වූව ද, එය ක්‍රීඩා කෙරුනේ ජාත්‍යන්තර එක්දින එනම් ඕවර 50 ආකෘතියෙන්. නමුත් ආසියානු කුසලානයේ ඕවර 20 ආකෘතිය සැලකිල්ලට ගත් විට වඩාත්ම ආසන්න ශූරයින් වන්නේ 2022 වසරේ එම ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකාව.
ඒ අනුව, මේ 2025 වසරේ ආසියානු කුසලාන තරගාවලිය ක්‍රීඩා කෙරෙන්නේ ඕවර 20 ශෛලියෙන් නිසා වර්තමාන ආසියානු කුසලාන ක්‍රිකට් ශූරයින් ලෙස තරග කරන්නේ ශ්‍රී ලංකාව.

ආසියානු කුසලාන තරගාවලියේ ආකෘතිය ඉදිරියේ පැවැත්වීමට නියමිත ආසන්නතම ලෝක කුසලාන තරගාවලියේ ආකෘතිය මත වෙනස් වනවා. ඒ අනුව, 2023 වසරේදී සැලකිල්ලට ගැණුනේ ඕවර 50 ලෝක කුසලාන තරගාවලිය. 2025 වසරේදී සැලකිල්ල යොමුව තිබෙන්නේ ලබන වසරේ පැවැත්වෙන ඕවර 20 ආකෘතියෙන් යුත් ලෝක කුසලාන තරගාවලියට.
“අපි ශූරතාව රැක ගන්නා කණ්ඩායම යන සාධකය මානසිකව ඉතා හොඳ දෙයක්” යනුවෙන් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක බංග්ලාදේශය ට එරෙහිව ඊයේ පැවති මෙවර තරගාවලියේ තම කණ්ඩායමේ පළමු තරගයට පෙර කියා තිබුනා.
“කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ම පැවති පසුගිය තරගාවලියේදීත් ක්‍රීඩා කළා. අපි ශූරයින් නිසා අපට ගොඩක් දුර යා හැකි බව අපි දන්නවා. එම කාරණය ජයග්‍රාහී පෙලඹවීමක් විදියට ක්‍රීඩකයන් පාවිච්චි කරනවා.”
එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ තිබෙන ක්‍රීඩාංගණ අතරින් පිතිකරුවන්‌ට හිතවත් හොඳම තණතීරුව තිබෙන්නේ අබුඩාබිවල බව අසලංක කලින් ම දැරූ මතය වී තිබුනා. එම තණතීරුවේදී ශ්‍රී ලංකාව ඊයේ තරගය කඩුලු හයකින් ජය ගත්තේ තරගයේ තවත් පන්දු 32ක් ඉතිරිව තිබියදී. “සෑම පිතිකරුවෙකුටම අවශ්‍යව තිබෙන්නේ අබුඩාබියේ ක්‍රීඩා කිරීමටයි” අසලංක තරගයට පෙර ප්‍රකාශ කර තිබුනා.
වර්තමාන ආසියානු කුසලාන ක්‍රිකට් ශූරයින් ඔවුන්ගේ කිරුළ රැක ගැනීමේ මෙහෙයුම දැන් ජයග්‍රාහීව ආරම්භ කර තිබෙනවා. මේ ඇරඹුම පිළිබඳව අසලංක සතුටු වනවා.
“බංග්ලාදේශ ඉනිමේ පළමු ඕවර දෙක අපට පිහිට වුනු ප්‍රධාන අවස්ථාව වුනා. එයින් ජයග්‍රහණයේ අඩිතාලම වැටුනා. මෙය අපට සිහින ආරම්භයක්” යනුවෙන් ශ්‍රී ලංකා නායකයා ඊයේ තරගයෙන් පසුව පැවසුවා.
තරගයේ තෙවැනි ඕවරය වන විට බංග්ලාදේශයේ කඩුලු දෙකක් බින්දුවට දැවී ගොස් තිබූ අතර ඒ අගාධයෙන් නැවත ගොඩඒමට අසමත් වූ ඔවුන්ට අවසානයේ වාර්තා කිරීමට හැකිවූයේ කඩුලු 5ක් දැවී ලකුණු 139ක් පමණයි.
මේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා ලෝලීන්ගෙන් ලැබුනේ අතිවිශිෂ්ට සහයෝගයක්. බංග්ලාදේශ ක්‍රීඩා ලෝලීන් ද ශ්‍රී ලංකා කණ්ඩායමට සහාය පළ කළ බව කියන චරිත් අසලංක, “අපට සහාය වෙන්න පැමිණි සෑම ක්‍රීඩා ලෝලියෙකුටම මම ස්තූතිවන්ත වනවා” යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







