ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 ජාත්‍යන්තර තරග බිමේ වැඩිම වාර ගණනක් ලකුණු 50 සීමාව පසු කළ පිතිකරු බවට පත්වෙමින් පැතුම් නිශ්ශංක ඊයේ (15) රැස් කළ අර්ධ ශතකය හේතුවෙන් හොංකො පිලට එරෙහිව පැවති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගයෙන් කඩුලු 4ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් හොංකොං පිල දුන් ලකුණු 150ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිල කඩුලු 6ක් දැවී තිබියදී ජය හිමිකර ගත්තේ පන්දු 7ක් ද ඉතිරි කරගනිමිනි.
ශ්‍රී ලංකාව සහ හිටපු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා පුහුණුකරු ලෙස කටයුතු කරන හොංකොං පිල හමුවූ පළමු අවස්ථාව මෙයයි. මේ තරගයත් සමඟ හොංකොං පිල ජයග්‍රහණයකින් තොරවම තරගාවලියේ මූලික වටයෙන්ම ඉවතට විසි විය.
ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේදී පැතුම් නිශ්ශංක ලකුණු 8ක් ලබා සිටියදී දෙවැනි ඕවරයේදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූ බවට විනිසුරු තීරණය කළත්, එම තීරණයට අභියෝග කිරීමෙන් පැතුම් තවදුරටත් පිටියේ රැඳී සිටීමට වාසනාවන්ත විය. උඩ පන්දු 4ක් ගිලිහී යෑමෙන් ද උපරිම ප්රයෝජනගත් පැතුම් මේ තරගාවලියේදී පිට පිට දෙවැනි අර්ධ ශතකය ලෙස ලකුණු 68ක් රැස් කරමින් ශ්‍රී ලංකා ජය මාවත විවර කළේය.
පැතුම් ඊයේ වාර්තා කළේ 17 වැනි විස්සයි 20 අර්ධ ශතකයයි

කුසල් මෙන්ඩිස් (11) සමඟ පළමු කඩුල්ලට ලකුණු 26ක්, කමිල් මිෂාර (19) සමඟ දෙවැනි කඩුල්ල ලකුණු 36ක් සහ තෙවැනි කඩුල්ලට කුසල් පෙරේරා සමඟින් එක්ව පන්දු 34කින් ලකුණු 57ක් රැස් කළ පැතුම් ඊයේ වාර්තා කළේ 17 වැනි විස්සයි20 අර්ධ ශතකයයි. මේ සමඟ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි20 පිටියේ වැඩිම අවස්ථා ගණනකදී ලකුණු 50 සීමාව පසු කළ පිතිකරු බවට ඔහු පත් විය. මුළු ලකුණු 119දී පැතුම් දැවී යන විට හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 68ක් රැස් කර තිබුණේ පන්දු 44ක් පමණක් වැය කරමිනි.
පැතුම්ගේ දැවී යෑමත් සමඟ තවත් කඩුලු 3ක් ලකුණු 8ක් තුළ දවා ගැනීමට හොංකොං පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී කුසල් පෙරේරා (20), නායක චරිත් අසලංක (2) සහ කමිඳු මෙන්ඩිස් (5) දැවී ගිය පිතිකරුවන් බවට පත් වූහ.
වනිඳු හසරංග පන්දු 9කදී නොදැවී ලකුණු 20ක් රැස් කරමින් ශ්‍රී ලංකා ජය තහවුරු කළ අතර, දසුන් ශානක නොදැවී ලකුණු 6ක් රැස් කර ගෙන සිටියේය.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පිලේ ආරාධනයෙන් හොංකොං ඉනිම ඇරඹූ අන්ෂි රාත් සහ සීෂාන් අලි පළමු කඩුල්ලට පන්දු 29කින් ලකුණු 41ක් එක් කළේය. දුෂ්මන්ත චමීරගේ පන්දුවකට කුසල් මෙන්ඩිස් උඩ පන්දුවක් රැක ගැනීමෙන් සීෂාන් ලකුණු 23කට දැවී ගිය අතර, දෙවැනි කඩුල්ල බිඳ දැමීමට වනිඳු හසරංග සමත් වූයේ කුසල් මෙන්ඩිස්ගේ ස්ටම්ප් කිරීමක් හේතුවෙනි.
කුසල් මෙන්ඩිස්, කුමාර් සංගක්කාර සම කිරීමට සමත් වේ
මේ සමඟ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 තරග බිමේ වැඩිම දවාගැනීම් සංඛ්‍යාවකට දායකවූ කඩුලු රකින්නා ලෙස හිටපු ක්‍රීඩක කුමාර් සංගක්කාර සම කිරීමට සමත් විය. සංගක්කාර දවා ගැනීම් 45කට දායක වී ඇත්තේ උඩ පන්දු 25ක් සහ ස්ටම්ප් කිරීම් 20ක් සමඟිනි. මෙන්ඩිස් උඩ පන්දු 30ක් සහ ස්ටම්ප් කිරීම් 15කට දායකත්වය ලබා දී තිබේ.

චමීරට දෙවැනි කඩුල්ල හිමිකර දෙමින් මුළු ලකුණු 118දී රාත් දැවී යන විට ලකුණු 48ක් රැස් කර තිබිණි. ඔහු ඉනිමේ සාර්ථකම පිතිකරු වූ නිසාකත් ඛාන් සමඟ එක්ව තෙවැනි කඩුල්ලට පන්දු 43කින් ලකුණු 61ක් එක් කර තිබිණි. කමිඳු මෙන්ඩිස් උඩ පන්දුවක් රැක ගැනීමෙන් රාත් දැවී ගිය අතර, තවත් ලකුණු 9ක් එක් වෙද්දී හොංකොං පිලට සිවුවැනි කඩුල්ල අහිමි වී ගියේ නායක යසිම් මුර්ටාසා (5) දසුන් ශානක හමුවේ දැවී යෑමෙනි.
වේගවත් පිතිහරඹයක නිරත වූ නිසාකත් ඛාන් නොදැවී ලකුණු 52ක් රැස් කළේ හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟ පන්දු 38කිනි.
මතීෂ පතිරණ වෙනුවට මහීෂ් තීක්‍ෂණ...
බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයේදී ඕවර 4 කින් ලකුණු 42 ක් තිළිණ කළ මතීෂ පතිරණ කණ්ඩායමෙන් ඉවත් කරමින් මේ තරඟයේදී මහීෂ් තීක්‍ෂණ කණ්ඩායමට කැඳවා තිබිණ. හොංකොං පිතිකරුවන්ගේ තර්ජනාත්මක පිතිහරඹය මැද, තීක්‍ෂණ සිය ඕවර 4 ලකුණු 22 කට සීමාකර ගත්තේය.
ශ්‍රී ලංකා පිල සහභාගි වන මූලික වටයේ අවසන් තරගය අනිද්දා (18) ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වේ.








