එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දැන් පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර අද රාත්‍රියේ අබුඩාබි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන්නේ ‘බී’ කොටසේ ඉතාමත්ම තීරණාත්මක තරගයක්.
‘බී’ කොටසින් ‘සුපරි හතර’ වටයට සුදුසුකම් ලබා ගැනීමේදී දැන් තිබෙන්නේ සරල සිදුවීම් පෙළක් නෙවෙයි. පැහැදිලි එකම කරුණ වී තිබෙන්නේ දැනටමත් ජයග්‍රහණ දෙකක් වාර්තා කර සිටින ශ්‍රී ලංකාව අද ලබන ජයග්‍රහණයකින් කෙලින්ම ඉදිරි වටයට පිවිසීම.
බංග්ලාදේශය ද තරග දෙකක් ජයග්‍රහණය කර තිබුන ද, එයින් ලකුණු හතරක් ලබා ගෙන සිටියදීත් ඔවුන් පත්ව සිටින්නේ අවදානම් තත්ත්වයක. ඔවුන් සතුව තිබෙන -0.270 ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය (NRR) ‘සුපිරි හතර’ වටයට පිවිසීමේ ඔවුන්ගේ උත්සාහය කඩා බිඳ දමන සාධකය බවට පත්වීමට ඉඩ තිබෙනවා. ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය යන කණ්ඩායම් දෙක ට ම සුපිරි NRR තත්ත්වයන් තිබෙන අතර ඇෆ්ගනිස්තානය අද ලොකු ලකුණු පරතරයක් නැතිව ශ්‍රී ලංකාව පරාජය කළහොත් කණ්ඩායම් තුන ම ලකුණු හතර බැගින් ලබා ගෙන සමාන තත්ත්වයට පත්වනවා. එය එසේ වුවහොත්, වඩාත් හොඳ NRR ලබා ගෙන සිටින ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය ‘සුපිරි හතර’ වටයට පිවිසෙනවා.
මේ අනුව, ඇෆ්ගනිස්තානය ‘සුපිරි හතර’ වටයට සුදුසුකම් ලබා ගැනීමට නම් ඔවුන් අද තරගය ජයගත යුතුම වී තිබෙනවා. එසේ නොවුනහොත්, බංග්ලාදේශය ඔවුන් අභිබවා පෙරට එනවා. ශ්‍රී ලංකාව ‘සුපිරි හතර’ වටයට පිවිසීමට නම් කළ යුතුව තිබෙන්නේ විශාල ලකුණු පරතරයකින් පරාජය නොවී සිටීම පමණයි.
උදාහරණයක් ලෙස, ශ්‍රී ලංකාව අද තරගයේ පළමුව පන්දුවට පහර දී ලකුණු 150ක් සටහන් කළහොත්, ඇෆ්ගනිස්තානය එම ඉලක්කය ඕවර 11යි පන්දු 4කින් හඹා යා යුතු වනවා. ඔවුන්ට, ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවතට විසිකර බංග්ලාදේශය සමග ‘සුපිර හතර’ වටයට යා හැක්කේ එවිට පමණයි. ඇෆ්ගනිස්තානය පළමුව පන්දුවට පහර දෙමින් ලකුණු 150ක් රැස් කළහොත්, බංග්ලාදේශය ට ‘සුපිරි හතර’ සුදුසුකම ලැබීමට නම් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 84ක් හෝ ඊට අඩුවෙන් අවසන් විය යුතු වනවා.
මේ නිසා, ඇෆ්ගනිස්තානය ට ජයග්‍රහණයක් අවශ්‍යමයි. බංග්ලාදේශයේ කැමැත්ත වී තිබෙන්නේ ශ්‍රී ලංකා ජයග්‍රහණයක්. නමුත් ශ්‍රී ලංකාව පැරදුනොත් එය ලොකු පරාජයක් වීමයි බංග්ලාදේශයේ අවශ්‍යතාව.
ජයග්‍රහණයේ පීඩනය එල්ල වී තිබෙන්නේ ඇෆ්ගනිස්තානය ට. අද සාමන්‍ය සාර්ථකත්වයෙන් යුත් ක්‍රීඩාවක නියැලීම පමණක් ශ්‍රී ලංකාව ට ප්‍රමාණවත්.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







