ප්‍රතිවාදී ක්‍රීඩකයන් අතර සුහදශීලී අතට අත දීමක් නැති තවත් තරගයකදී පාකිස්තානය ට එරෙහිව ටිලක් වර්මා නොදැවී ලකුණු 69ක් ලබා ගනිමින් ඊයේ (28) ඩුබායි හි පැවති ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දියාව කඩුලු පහක ජයග්‍රහණයක් කරා ගෙන ගියේ වාර්තාගත නව වැනි ආසියානු ක්‍රිකට් ශූරතාවක් ඉන්දියානුවන්ට හිමිකර දෙමින්.
ජයග්‍රහණය සඳහා ලකුණු 147ක් හඹා ගිය ඉන්දියාව තරගයේ පන්දු දෙකක් ඉතිරිව තිබියදී එම ඉලක්කයට යාම පිණිස වර්මාගේ පන්දු 53ක ඉනිම සහ වර්මා හා ශිවාම් ඩූබ් අතර ගොඩනැගුනු ලකුණු 60ක සබඳතාව මත යැපුනා.
ඩූබ් 19 වැනි ඕවරය අවසානයේ ලකුණු 33කට දැවී ගිය අතර ඉන්දියාව ට අන්තිම පන්දු හයේදී ලකුණු 10ක් අවශ්‍යව තිබියදී වර්මා හයේ පහරක් එල්ල කළා. රින්කු සිං ජයග්‍රාහී හතරේ පහර වාර්තා කළා. ඉක්බිති මේ පිතිකරුවන් දෙදෙන ජයග්‍රහණයේ සතුට බෙදා ගැනීමට ඔවුන්ගේ කණ්ඩායම වෙත දිව ගිය අතර පිටියේ තනි වූ පාකිස්තාන කණ්ඩායම ඔවුන්ගේ ක්‍රීඩකයින් සමග අතට අත දෙමින් සිටියා.
කුල්ඩීප් යාදව් පාකිස්තානය ට එරෙහිව මේ තරගාවලියේ පිට පිට තෙවැනි ජයග්‍රහණයට මං විවර කරමින් ලකුණු 30කට කඩුලු 4ක් ලබා ගනිද්දී පාකිස්තානය ලකුණු 146කට දැවී ගියා.

ඉන්දියාව ලකුණු 20කට කඩුලු 3ක් සහ ලකුණු 77කට කඩුලු 4ක් අහිමි කරගෙන අසීරු තත්ත්වයකට පත්වූවද, වර්මා සන්සුන්ව ඉලක්කය කරා යාමේ ක්‍රියාවලියට නැංගුරමක් වූයේ සිය ඉනිමේදී හතරේ පහර තුනක් සහ හයේ පහර හතරක් එල්ල කරමින්.
කඩුලු රකින-පිතිකරු සන්ජු සැම්සන්ගේ ලකුණු 24 සහ ඩූබ්ගේ සහයෝගිමත් ඉනිම විසින් ඉන්දියාව ජයග්‍රහණය කරා ගෙන යනු ලැබුවේ ඉන්දියානු ක්‍රිකට් ලෝලීන්ගේ ආධිපත්‍යයෙන් යුත් අති විශාල නරඹන්නන් පිරිසක් ඉදිරියේ.

නායකයන් දෙදෙනාගේ අතට අත දීමකින් තොරව කාසියේ වාසිය උරගා බැලීමෙන් පසුව පළමුව පන්දුවට පහර දීම පිණිස කැඳවනු ලැබූ පාකිස්තානය ශක්තිමත් ආරම්භයක් ලබා ගත්තේ සහිබ්සාඩා ෆර්හාන් (57) සහ ෆකාර් සමාන් (46) යන ආරම්භක පිතිකරු යුගලය ගොඩනැගූ ලකුණු 84ක සබඳතාවෙන්. එහෙත් පාකිස්තාන කණ්ඩායම 113-1 ලකුණු තත්ත්වයේ සිට ලිස්සා යමින් ඕවර 19.1කදී සියලු දෙනා දැවී ගියා.
සහිබ්සාඩා මේ තරගාවලියේ ඔහුගේ දෙවැනි අර්ධ ශතකයෙන් පසුව දැවී ගියේ දඟ පන්දු යවන වරුන් චක්‍රවර්ති ට පිට පිට දෙවැනි හයේ පහර එල්ල කිරීමට ගත් උත්සාහයේ. ඉන්පසු ෆකාර් පිතිහරඹ කාර්යය බාර ගත් අතර සයිම් අයුබ් සමග එක්ව ක්‍රමානුකූලව හතරේ පහර එල්ල කරමින් ප්‍රහාරය දිගටම පවත්වා ගෙන ගියා. එහෙත් 13 වැනි ඕවරයේදී කුල්ඩීප් එම සටනට තිත තැබුවා.
සයිම්, වමතින් දඟ පන්දු යවන කුල්ඩීප් ට දැවී ගිය අතර පාකිස්තානයේ කඩුලු හයක් ම ලකුණු 21කට බිඳ වැටුනා.
ෆකාර් ඔහුගේ අර්ධ ශතකය පෙනෙමින් තිබියදී දැවී ගිය අතර කුල්ඩීප් 17 වැනි ඕවරයේදී පාකිස්තාන නායක සල්මන් අලි අඝාගේ (8) කඩුල්ල ඇතුළුව කඩුලු තුනක් ලබා ගැනීමට සමත් වුනා.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී








