පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රධානියා වන මෝසින් නක්වි ඊයේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සිතාගත නොහැකි
දෙයක් කළා. ඒ, ඉන්දියා කණ්ඩායම ඔවුන් දිනා ගත් 2025 ආසියානු ක්‍රිකට් කුසලානය ඔහුගේ අතින් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ නිසා.

නක්වි තරගයෙන් පසුව පවත්වන පදක්කම් ප්‍රදානය සඳහා වේදිකාවේ රැඳී සිටිය ද, සූර්යකුමාර් යාදව්ගේ ක්‍රීඩකයන් ජයග්‍රාහී කුසලානය හෝ ජයග්‍රාහකයන්ගේ පදක්කම් ඔහු අතින් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළා. මේ හේතුවෙන් තරගයෙන් පසුව සිදු කිරීමට නියමිත වැඩසටහන සම්පූර්ණයෙන් ඇන හිටුනා. ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයට අවශ්‍ය වුනේ කුසලානය පාකිස්තානයේ ඇමතිවරයෙකු ද වන නක්වි අතින් ලබා ගැනීමට නොව මධ්‍යස්ථ විධායක නිලධාරියෙකු අතින් ලබා ගැනීමට.
එහෙත් නක්වි කුසලානය සහ පදක්කම් රැගෙන ක්‍රීඩාංගණයෙන් පිටව ඔහු නතර වී සිටි හෝටලයට ගියා.
ඉන්දියා කණ්ඩායමට කුසලානය හා පදක්කම් ප්‍රදානය නොකිරීමට නක්වි ගත් තීරණයට එරෙහිව ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය ඔහුට එරෙහිව විරෝධතාවක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා. නක්විගේ මේ අශෝබන ක්‍රියාව මධ්‍යයේ කුසලානය නැතිව ජයග්‍රහණය සැමරීමට ඉන්දියා කණ්ඩායම තීරණය කළා.
ක්‍රිකට් පිටියේ ‘සින්දූර් මෙහෙයුම’

තරගයේ අවසන් ඕවරයේ දී රින්කු සිං එල්ල කළ හතරේ පහරින් ඉන්දියාව ජයග්‍රහණය සම්පූර්ණ කර මිනිත්තු කිහිපයකට පසුව ඉන්දියා අගමැති නරෙන්ද්‍ර මෝදි සමාජ මාධ්‍යයට පිවිස ‘ක්‍රිකට් පිටියේ සින්දූර් මෙහෙයුම’ යනුවෙන් එම ජයග්‍රහණය හැඳින්වූවා. ඔහු එම ජයග්‍රහණය ඉන්දියාව පෙහෙල්ගම් ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස පාකිස්තානයේ සිදුකළ හමුදා මෙහෙයුම සමග සම්බන්ධ කළා.
මේ අතර, ආසියානු කුසලාන තරගාවලියේදී තමාට ලැබුනු සම්පූර්ණ තරග මුදල රටේ හමුදාවන්ට සහ පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරු වූ පුද්ගලයින්ගේ පවුල්වලට පරිත්‍යාග කරන බව ඉන්දියා ක්‍රිකට් නායක සූර්යකුමාර් යාදව් ප්‍රකාශ කළා.
පාකිස්තාන ක්‍රිකට් නායක සල්මන් අලි අඝා ද සූර්යකුමාර්ගේ අඩිපාරේ යමින්, තම කණ්ඩායම ඔවුන්ට ලැබුනු තරග මුදල ඉන්දියාවේ සින්දූර් මෙහෙයුමෙන් විපතට පත් රටවැසියන් හා දරුවන්ට පරිත්‍යාග කරන බව කියා තිබෙනවා.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී








