leader s

දෙවසරක කාලයක් සම්පූර්ණ වී ඇති ජස්වර් උමාර්ගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ඔවුන්ගේ වසර දෙකක විශිෂ්ට පාපන්දු ගමනේ ප්‍රගතිය හා ශ්‍රී ලංකා පාපන්දු කැලැන්ඩරයේ ප්‍රබෝධමත් ඉදිරි තරග පිළිබඳව අනාවරණය  කිරීම පිණිස විශේෂ මාධ්‍ය හමුවක් පෙරේදා පාපන්දු නිවහනේදී පැවැත්වුවා.

 

මෙහිදී දේශීය තරගාවලියන්, ජාත්‍යන්තර තරග, යොවුන් සංවර්ධන වැඩසටහන් සහ සෑම මට්ටමකින්ම පාපන්දු ක්‍රීඩාව ශක්තිමත් කිරීම ඉලක්ක කරගත් මූලික පදනම ආරම්භ කිරීම ඇතුළු පාපන්දු කැලැන්ඩරය පිළිබඳව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා සහ පරිපාලන නිලධාරීන් කරුණු දැක්වුවා.

පසුගිය වසර දෙක වෘත්තීයතාව, යටිතලය හා දිවයින පුරා විසිරී සිටින පාපන්දු ක්‍රීඩකයන්ට අවස්ථා ලබා දීම කේන්ද්‍ර කරගත් පරිවර්තන යුගයක් වූ බව ජස්වර් උමාර් මහතා මෙහිදී කියා සිටියේ ශ්‍රී ලාංකේය පාපන්දුව ඉදිරියට තල්ලු කිරීම සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තිබෙන කැපවීම අවධාරණය කරමින්.

ජස්වර් උමාර්

“මේක One Man Show එකක් නෙවෙයි. මෙය ජස්වර්ගේ තනි කාර්යයක් නෙවෙයි. මේක කණ්ඩායමක් විදියට කරගෙන යන කාර්යයක්. ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම වැටිලා කියා සමහරු කියනවා. ඒ ගැන ඔවුන් මට චෝදනා කරනවා. සභාපති පිට්ටනියට ගිහින් බෝල ගහන්නේ නැහැ. අපි කරන්නේ ක්‍රීඩා කරන අයට අවශ්‍ය පහසුකම් හා පසුබිම සකස් කර දෙන එකයි. ඒ වෙනුවෙන් වගකියන පරිපාලන කණ්ඩායමක් ස්ථාපිත කර තිබෙනවා. ක්‍රීඩකයන් දුර්වල වනවා නම් ඒ වගකීම මේ කණ්ඩායම බාර ගත යුතුයි.”

මෙසේ කී සභාපතිවරයා, එම කණ්ඩායමේ පුද්ගලයින් වේදිකාවට කැඳවා ඔවුන්ගේ කාර්යභාරයන් මාධ්‍යයට විස්තර කර දෙන ලෙස දන්වා සිටියා.

පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ජාත්‍යන්තර තරග 18කට ක්‍රීඩා කර තිබෙන අතර මෙය ඉතිහාසයේ වැඩිම තරග සංඛ්‍යාව බව උමාර් මහතා පෙන්වා දුන්නා. ශ්‍රී ලංකාව මේ තරගවලින් 6ක් ජයග්‍රහණය කර තරග 5කින් පරාජය වී තරග 7ක් ජය පැරදුමින් තොරව අවසන් කරගෙන තිබෙනවා. මෙය සියයට 62ක සාර්ථකත්වයක් බව පාපන්දු සභාපතිවරයා කියා සිටියා.

“ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල අපි හිටියේ 206 ස්ථානයේ. දැන් අපි ඉන්නේ 196 ස්ථානයේ. මේක වැටීමක් ද, නැගිටීමක් ද?” යනුවෙන් පාපන්දු සභාපතිවරයා තමන්ව විවේචනය කරන අයගෙන් ප්‍රශ්න කර සිටියා.

ශ්‍රී ලංකාවේ පාපන්දුව සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල යටතේ පාපන්දු විශ්ව විද්‍යාලයක් (Football Campus) සහ විශේෂිත පුහුණුව ලබා දෙන මධ්‍යස්ථානයක් (Centre of Excellence) පිහිටුවීමට කටයුතු කරමින් සිටින බව ද ජස්වර් උමාර් මහතා පැවසුවා.

 

ළඟදීම ආරම්භ කෙරෙන මේ පාපන්දු සරසවියට වයස අවුරුදු 13-15 සහ 15-17 ක්‍රීඩකයින් මුල් අදියරේදී බඳවා ගැනීමට තීරණය වී තිබෙනවා. මේ පාපන්දු විශ්ව විද්‍යාලය මගින් විදෙස් පුහුණුකරුවන්ගේ ද සහභාගිත්වයෙන් පාපන්දු සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය බලාපොරොත්තු වනවා.

ශ්‍රී ලංකා පාපන්දුවේ ප්‍රථම වතාවට ‘ශ්‍රී ලංකා අනාගත කණ්ඩායම’ක් (Sri Lanka Future Team) එහි ක්‍රීඩකයන්ට රැකියාවන් ද ලබා දෙමින් පිහිටුවන බව පාපන්දු සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්