ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ බිලියනපතියකු වූ පළමු ක්‍රියාකාරී පාපන්දු ක්‍රීඩකයා බවට පත්ව සිටිනවා. මේ බව අනාවරණය කරන්නේ ඔහුගේ ශුද්ධ වටිනාකම ප්‍රථම වතාවට සිය දර්ශක ලැයිස්තුවට ඇතුළත් කර තිබෙන ‘බ්ලූම්බර්ග් බිලියනපති දර්ශකය (Bloomberg Billionaire Index).
දැනටමත් පාපන්දුවේ වැඩිම ගෙවීමක් ලබන ක්‍රීඩකයා බවට පත්ව සිටින රොනාල්ඩෝ සෞදි වෘත්තීය ලීගයේ අල්-නසර් කණ්ඩායම සමග තිබෙන සිය ලාභදායී කොන්ත්‍රාත්තුව මේ වසර මුල දීර්ඝ කර ගනිමින් ඔහුගේ ධනය බොහෝ වැඩිකර ගත්තා. මේ නව කොන්ත්‍රාත්තුවේ වටිනාකම ඩොලර් මිලියන 400කට වැඩි බව වාර්තා වනවා.
රොනාල්ඩෝගේ ධනය වැඩිවීමට හේතුව බදු රහිත කොන්ත්‍රාත්තුව මෙන්ම Armani හා Nike සමග තිබෙන ලාංජන ගිවිසුම් බව බ්ලූම්බර්ග් පවසනවා.
මේ අතර, පෘතුගාලය වෙනුවෙන් තරග 223කට ක්‍රීඩා කරමින් ගෝල් 141ක් ලබා ගෙන පිරිමි ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාවේ වැඩිම ගෝල්ලාභියා බවට පත්ව සිටින රොනාල්ඩෝ, තම පවුල විසින් බල කර සිටිනු ලැබුව ද පාපන්දු ක්‍රීඩාවෙන් ඉක්මනින් විශ්‍රාම යාමේ අදහසක් තමන්ට නැති බව කියා සිටිනවා.
“මිනිස්සු, විශේෂයෙන් මගේ පවුල කියනවා, ‘දැන් ඔබට නතර වෙන්න කාලය ඇවිත්. ඔබ සෑම දෙයක්ම කර තිබෙනවා. ගෝල් දහසක් ලබා ගන්න ඔබට උවමනා ඇයි?’ කියලා” රොනාල්ඩෝ සඳහන් කරනවා.
“නමුත් මම එහෙම හිතන්නේ නැහැ. මම තවමත් හොඳ ප්‍රතිඵල ගේනවා කියා මම හිතනවා. මම මගේ ක්‍රීඩා සමාජයට හා ජාතික කණ්ඩායමට උදව්කරනවා. ඉතිං ඇයි මම දිගටම ක්‍රීඩා නොකරන්නේ?”
“මම මගේ ක්‍රීඩාව අවසන් කළාම මම සම්පූර්ණ වනු ඇති කියලා මට විශ්වාසයි. මොකද, මම මගේ උපරිමය මේ ක්‍රීඩාවට ලබා දී තියෙනවා. මට තව අවුරුදු ගොඩක් නැති බව මම දන්නවා. නමුත් මට තියෙන අවුරුදු කිහිපයේ සම්පූර්ණයෙන්ම විනෝද වෙන්න මම උත්සාහ කරනවා.”

“මම දිනන්න ආසයි. තරුණ පරම්පරාවට උපකාර කරන්න කැමතියි. ඔවුනුත් මගේ මට්ටම ඒ විදියට පවත්වා ගෙන යාමට සහ දිගටම තරග කිරීමට මට උදව් කරනවා. මා තුළ උනන්දුවක් ඇති වන්නේ තරුණයන් සමග තරග කරද්දීයි”
රොනාල්ඩෝ වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







