ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සංවිධානය කරන ‘සයිඩ් මුෂ්ටාක් අලි කුසලාන’ (SMAT – Syed Mushtaq Ali Trophy) තරගාවලිය සඳහා තමන්ව තෝරා නොගැනීමෙන් කෝපයට පත් ක්‍රීඩකයන් තිදෙනෙක් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරුවෙකුට හිස පැලෙන්නට පහර දී ඇති පුවතක් නවදිල්ලියෙන් වාර්තා වනවා.
මේ දේශීය ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනා පහර දී තිබෙන්නේ පුහුණුකරුව මරා දැමීමේ චේතනාවෙන් යැයි කියන අතර ප්‍රහාරයට ලක්ව සිටින්නේ පොන්ඩිචෙරි ක්‍රිකට් සංගමයේ (CAP – Cricket Association of Pondicherry) අවුරුදු 19න් පහළ ප්‍රධාන පුහුණුකරු එස්. වෙන්කටරාමන් (S. Venkataraman).
වෙන්කටරාමන් CAP සංකීර්ණය තුළ සිටියදී දෙසැම්බර් 8 වැනි දින පෙරවරුවේ මේ ප්‍රහාරය සිදුව ඇතැයි ඉන්දියා පුවත්පත් වාර්තා කරනවා.
ක්‍රිකට් පිති ද උපයෝගී කරගත් මේ පහර දීමෙන් පුහුණුකරුගේ හිස තුවාල වී උරහිසේ බිඳීමක් ද සිදුව තිබෙන බවත් ඔහුගේ නළලට මැහුම් 20ක් දමා තිබෙන බවත් වාර්තා වනවා. පහර දීම සිදුකළ ක්‍රිකට් ක්‍රීඩකයන් ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව ද සඳහන්.
භාරතිදාසන් පොන්ඩිචෙරි ක්‍රිකට් ක්‍රීඩක සංසදයේ (Bharathidasan Pondicherry Cricketers’ Forum) ලේකම් ජී. චන්ද්‍රන් මේ පහර දීම සඳහා ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාව උසිගැන්වූ බව වෙන්කටරාමන් පොලිසියට කළ පැමිණිල්ලෙන් කියා තිබෙනවා.
“2025 දෙසැම්බර් 8 වැනිදා උදේ 11 ට විතර මම CAP සංකීර්ණය ඇතුළේ ගෘහස්ථ නෙට්වල සිටියදී පොන්ඩිචෙරි ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් වන කර්තිකෙයාන්, අරවින්දරාජ් හා සන්තොෂ් කුමාරන් ඇවිත් මට බණින්න පටන් ගත්තා. ඔවුන්ව SMAT සංචිතයට තෝරා නොගැනීමට හේතුව මා බව කියමින් ඔවුන් මට අපහාස කළා.
අරවින්දරාජ් මාව අල්ලගෙන ඉඳිද්දී, සන්තොෂ් කුමාරන් අතේ තිබුන බැට් එක කර්තිකෙයාන් අරගෙන මාව මරා දැමීමේ අරමුණින් මට ගැහුවා. ඔවුන් මට ගැහුවේ, ඔවුන්ට අවස්ථාවක් ලැබෙන්නේ මාව මැරුවොත් විතරයි කියලා චන්ද්‍රන් ඔවුන්ට කියා ඇති බව පවසමින්” යැයි පැමිණිල්ලේ සටහන්ව තිබෙනවා.
චන්ද්‍රන් ට එරෙහිව කරන ලද මේ පැමිණිල්ල සංසදයේ සභාපති සෙන්තිල් කුමාරන් ප්‍රතික්ෂේප කරනවා.
“වෙන්කටරාමන් ට එරෙහි නඩු කිහිපයකට සම්බන්ධ ඉතිහාසයක් තිබෙනවා. ඔහු අසභ්‍ය වචන පාවිච්චි කරමින් දේශීය ක්‍රිකට් ක්‍රීඩකයන් සමග පරුෂ අයුරින් හැසිරුනු බව බොහෝ අය දන්නවා. CAP ඇතුළේ තියෙන ප්‍රශ්න කිහිපයක් ගැන ම අපි පසුගිය වසර හත තිස්සේ ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුවත් කර තිබීම ගැන සලකා බලන විට චන්ද්‍රන් සමග ඔහුට තිබෙන අමනාපය ප්‍රසිද්ධ දෙයක්” යනුවෙන් කුමාරන් ප්‍රකාශ කරනවා.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී







