ජාතික ඔලිම්පික් කමිටුවට ජාතික ක්‍රීඩා සංගමයකට නියෝග දීමේ බලයක් නැතැයි ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසීය.
පාපන්දු ආයතනය ඇතුළු ජාතික ක්‍රීඩා සංගම් කීපයක් විසින් ජාතික ඔලිම්පික් කමිටුව රාජ්‍ය බැංකුවක පවත්වා ගෙන යන ගිණුම් වෙතින් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් එම බැංකුවට දැනුවත් කිරීමේ ලිපියක් යැවීම පිළිබඳව ශ්‍රී ලංකා පාපන්දු ආයතනයෙන් ඔලිම්පික් කමිටුව නිදහසට කරුණු විමසීම ගැන කරුණු දැක්වීම සදහා එම මාධ්‍ය හමුව කැඳවා තිබුණි.
එහිදී ජස්වර් උමාර් එහිදී පැවැසුවේ සාමාජික ජාතික ක්‍රීඩා සංගමයකින් කිසියම් කාරණයක් අරභයා කරුණු විමසීමේ ක්‍රම වේදයෙන් බැහැරව නීතිමය පදනමකින් තොරව ඔලිම්පික් කමිටුව එහිදී ක්‍රියාකර ඇති බවයි.
මෙම 27 වැනිදා ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් විධායක සභාව (2021 -27) ව්‍යවස්ථානූකූලව ශුන්‍ය වන බවත් එයින් පසුව එක් දිනයක් වත් එහි වත්මන් සභාපතිවරයා හෝ විධායක සභාවට රැඳී සිටීම මුළුමනින්ම නීති විරෝධි වන බවත් ඔහු සඳහන් කළේය.
මාධ්‍ය හමුවේදී ජස්වර් උමාර් මෙසේද පැවැසීය.
”ජාතික ඔලිම්පික් කමිටුවේ පරිපාලන ආරවුලක් පවතින බව දැන් බොහෝ දෙනකු දන්නා කාරණයක්. එහි ප්‍රතිපලයක් ලෙස පසුගිය මාර්තු මාසයේ සිට පැවැත්වීමට උත්සාහ ගත් එහි විශේෂ මහ සභා රැස්වීම් දෙකක් අසාර්ථකව අවසන් වුණා.
සුරේෂ් සුබ්‍රමනියම්මේ වෙන කොට ක්‍රියාත්මක වන කමිටුවේ විධායක සභාවේ 12 දෙනාගෙන් හය දෙනකුම නීති විරෝධි පත්වීම් ලැබූවන්. ඒ කියන්නේ දැන් ඉන්න විධායක සභාවේ භාගයට හාගයක්ම නීති විරෝධියි කියන එකයි. මෙවැනි පත්වීම් කිරීමේදී කමිටුව අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය වන්නේ විධායක සභාවේ නිර්දේශයෙන් විශේෂ මහ සභා රැස්වීමකදී අනුමැතිය ලබා ගැනීමයි. ඒ කිසිම දෙයක් වත්මන් සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා ඒ ක්‍රියාවේදී ඉටු කරලා තිබ්බේ නෑ.
මෙම මස 27 වැනිදා නිල කාලය අවසන් වීමෙන් පසුව එහි රැදෙන්න කමිටුවේ නිලධාරීන්ට අවසර නෑ. මේ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න කියලා සාමාජික ජාතික ක්‍රීඩා සංගම් ගණනාවක් ක්‍රීඩා ඇමැතිවරයාට පැමිණිලි කරනවා. ඒ වගේම මෙම මස 27 වැනිදායින් පසුව එහි තනතුරුවල රැඳී සිටින්න උත්සාහ ගන්නා ඕනෑම නිලධාරියෙකුට එරෙහිව අප උසාවි යාමට සූදානමින් සිටින බවත් ඔවුන්ට මතක් කර දෙන්න කැමැතියි.
එහිදී කනගාටුදායකම කාරණය වන්නේ වත්මන් සභාපතිවරයා නිලවරණය කල් දැමීමට දරන උත්සාහය තිබියදී අඩු තරමින් මේ වසරේ මහ සභා රැස්වීම කැඳවීමට වත් උනන්දු නොවීමයි.”
මෙහිදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් වලට පිළිතුරු දුන් ජස්වර් උමාර් ව්‍යවස්ථානුකූලව පත්වීම් ලබා ගැනීම තහවුරු කිරීම අපොහොසත්ව සිටින බව කියන ඔලිම්පික් කමිටුවේ විධායක සභාවේ නිලධාරීන්ගේ නම් ප්‍රකාශ කර සිටියේය.
වත්මන් මහ ලේකම් රිෆ්ඩි ෆාමි, භාණ්ඩාගාරික ප්‍රීති පෙරේරා, උප භාණ්ඩාගාරික මිනෝලී විජේසිංහ, උප සභාපති ෂිරන්ත පීරිස්, විධායක සභිකයන් වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත හා පවිත්‍ර ප්‍රනාන්දු ඒ අතර වෙති. පෙර නියෝජ්‍ය භාණ්ඩාගාරික ධූරයේ කටයුතු කළ ෂිරන්ත පීරිස් උප සභාපති ධූරයකට පත් කිරීමත් එහිදී ව්‍යවස්ථානූකූලව කෙරී නැතැයි ද ජස්වර් උමාර් පවසයි.
ඔලිම්පික් කමිටුවේ ගිණුමෙන් වත්මන් විධායක සභාව විසින් හදිසි වියදම් ලෙස මෑතකදී ලබා ගත් බව කියන රුපියල් මිලියන100 ක මුදලේ වියදම් විනිවිදභාවයෙන් පෙන්වීම වත්මන් සභාපතිවරයාගේ වගකීමක් බවත් ඔහු පැවැසීය.
( kelimandala | නාමල් පතිරගේ)







